''වෙළෙඳ කලාපයේ කොවිඩ් අර්බුදය හාම්පුතුන්ට ලේසියෙන්ම බාරදීලා ආණ්ඩුවට වගකීමෙන් නිදහස් වෙන්න බෑ."-ඇන්ටන් මාකස්

 ''වෙළෙඳ කලාපයේ කොවිඩ් අර්බුදය හාම්පුතුන්ට ලේසියෙන්ම බාරදීලා ආණ්ඩුවට වගකීමෙන් නිදහස් වෙන්න බෑ."-ඇන්ටන් මාකස්
- සම ලේකම්- ඇන්ටන් මාකස්, නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමය, 
 
* මේවන විට කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවී ඇති නිදහස් වෙළෙඳ කලාපයේ තත්ත්වය කෙබඳුද?
 
රට තුළ වගේම කලාපය තුළත් මේක ව්‍යාප්ත වෙමින් යනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා කොවිඩ් ව්‍යාප්තවීමේ තෝතැන්නක් බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා වසා නොදමා පවත්වාගෙන යා යුතුයි යනුවෙන්   ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා එම ස්ථාවරයට මුවාවෙලා හාම්පුතුන් තමන්ගේ ඇණවුම් වහ වහා සම්පූර්ණ කරගන්නා තැනට පෙළඹී තියෙනවා. ඒ්කෙ ප්‍රතිඵලයක් ලෙස ආයතනයන්  සෞඛ්‍ය විධිවිධාන නොසළකන තැනට පත්වෙලා. සෞඛ්‍ය විධිවිධාන නොතකා සේවකයින්ගෙන් වැඩගන්නවා. සේවකයින්ගේ පාර්ශවයෙන් බැලුවත් ආයතනය වසා දැමිය යුතුයි කීවට ඒ් සඳහා සේවකයින් ඉදිරිපත් වෙන්නෙ නෑ. මොකද වෘත්තීය සමිති ලෙස සංවිධානයවී නැති නිසා ඒ් අයට ඉදිරිපත් වෙන්න හයියක් නෑ. ඒසේ වුවත් වෘත්තීය සමිති ලෙස අපත් සමග කටයුතු කරන තැන්වල, වෘත්තීය සමිති ක්‍රියාත්මක තැන්වල නම් අපි ඒ් ඉල්ලීම කරලා තියෙනවා.
 
* ඔබගේ මැදිහත්වීම් පවත්නා තැන්වල වෘත්තීය සමිතිය ලෙස කරන ලද ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර ලැබී තිබෙනවද?
 
නිදසුනක් ලෙස ඒ් ඉල්ලීම නිසා ඇඟලුම් කර්මාන්ත හිමිකරුවන්ගේ සංසදය සමග මේ පිළිබඳ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. එහි සභාපතිවරයා අප සමග කියා සිටියේ මෙම කර්මාන්තශාලා වසන ලෙස ආණ්ඩුවෙන් දැනුම්දෙන්නේ නම් ඒ්වා වසා දැමිය හැකි බවයි. මේවා  අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ආණ්ඩුව විසින් උපදෙස් දී ඇති තත්ත්වයක් තුළ තම හිතුමනාපෙට  වසා දැමිය නොහැකි බව ඇඟලුම් කර්මාන්ත හිමියන් පෙන්වාදෙනවා. ඒ් නිසා ඒ් අය, ඒ් වරද ආණ්ඩුව පිට පටවා තමන්ගෙ වැඩපළවල් පවත්වාගෙන යනවා. මේ තත්ත්වය තුළ ආණ්ඩුවට මෙහි පූර්ණ වගකීම පැවරෙනවා. වෙළෙඳ කලාප තුළ කොවිඩ් ව්‍යාප්තියේ අර්බුදය හාම්පුතුන්ට ලේසියෙන්ම බාරදීලා ආණ්ඩුවට තමන්ගෙ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. 
 
* කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ කොවිඩ් ආසදිත සේවක, සේවිකාවන් වෙනුවෙන් අතරමැදි රෝහලක් පවත්වාගෙන යන්න කටයුතු කළ බව ඊයේ නිවේදනය කෙරුණා. ඒ් පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
 
ඒ්ක විවෘත කරලා නෑ. හදන්න පටන් අරන් තියෙනවා. ඊයේ තමා වැඩ පටන් ගත්තෙ. අපි විසින් ඔය ඉල්ලීම කරන ලද්දේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේදී. අපේ ඉල්ලීම වුණේ සෑම කලාපයකම රෝහලක් ස්ථාපිත කළ යුතුයි කියන එකයි. මේ වෙද්දි වතුපිටිවල, අවිස්සාවෙල්ල ආදී ප්‍රදේශවල එවැනි රෝහල් ස්ථාපිත කර තියෙනවා. සීදුව බ්‍රැන්ඩික්ස් ආයතනය වසා දැමීමෙන් පසු එම ගොඩනැඟිල්ල රෝහලක් බවට පත් කර තිබෙනවා. යක්කල, එස්කැවෙල් ආයතනයත් වසා දැම්මා. එතන ගොඩනැඟිල්ලකුත් රෝහලක් බවට පත් කර තිබෙනවා. කටුනායකත් පටන් ගත්ත එක හොඳයි. ඒ්ත් මගේ අදහස නම් ඒ්ක කාලයකට ඉස්සර කළ යුතුව තිබුණු දෙයක්. දැන් ප්‍රමාද වැඩියි. 
 
* අතරමැදි රෝහල් ස්ථාපිත කිරීමෙන් මේ ගැටළුවට විසඳුමක් ලැබෙයිද?
 
රෝහල් ස්ථාපිත කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මේක වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් තිබිය යුතුයි. රෝහලකින් සිදුවෙන්නේ කොවිඩ් ආසාදනය වූවාට පසු ප්‍රතිකාර කිරීමනෙ. ඒ්ත් වඩා සුදුසු රෝගය වැළඳෙන්නට හෝ ව්‍යාප්ත වීමට ඉඩ නොදී වළක්වා ගැනීමයි. ඒ් සඳහා සූදානමක් ඇති බවක් පේන්න නෑ.
 
* එලෙස වළක්වා ගැනීමට සූදානමක් නැති බව ඔබ කියන්නේ ඇයි?
 
නිදසුනක් ලෙස සෑම ආයතනයකම සෞඛ්‍ය කමිටු ස්ථාපිත කළ යුතුයි කියලා අපි යෝජනා කළා.  මොකද තමන් වැඩකරන සේවා ස්ථානයේ තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට හාම්පුතා විසින් ගෙන ඇති තීරණ පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අයිතියක් තිබිය යුතුයි. අනෙක් අතට සේවාවන්වල යෙදීම තමන්ගෙ සෞඛ්‍යයට අහිතකරයි නම් ඒ් සේවය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය සේවකයාට හිමියි. තුන්වෙනි කාරණය නම් සේවකයින්ට තමන්ගේ සෞඛ්‍ය කරුණු ගැන යම් තීරණ ගන්නා මණ්ඩලවලට සහභාගිවීමේ අයිතිය හිමිවිය යුතුයි. මෙම කරුණු තුන මත පදනම්ව තමා 'සෞඛ්‍ය කමිටු පිහිටුවන්නේ නම් සේවකයින් ඒ්වාට මැදිහත් වෙනවා. සේවකයින්ගේ තමන්ගෙ ප්‍රශ්න හා යෝජනා ඉදිරිපත් කරනවා. හාම්පුතුන්ට ඒ්වා ක්‍රියාත්මක කරන්න සිද්ධවෙනවා. ඒ්ත් දැන් සිද්ධවී ඇත්තේ සෞඛ්‍ය කමිටු පත් කළාට ඒ්වායේ ප්‍රධානත්වය ගන්නේ අදාළ ආයතනයේ කළමනාකාරිත්වයමයි. ඒ් නිසා මැනේජර්ලාගේ මූලික අවධානය වී ඇත්තේ සේවකයාගේ සෞඛ්‍ය නොව ආයතනයේ නිෂ්පාදනය හා කාර්යක්ෂමතාවයි. 
 
* තුල්හිරිය, පූ‌ගොඩ වැනි තැන්වල කොවිඩ් ව්‍යාප්තිය දරුණු නිසා සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වෙලා වසා දැමුවා. කලාපයේ  එලෙස සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වෙන්නෙ නැද්ද?
 
එතන තමා ප්‍රශ්නය තියෙන්නෙ. ඇඟලුම් කර්මාන්තශාලා වලින් 60%ක් තියෙන්නේ වෙළඳ කලාපයන්ගෙන් පිට. 40%ක් විතරයි තියෙන්නේ වෙළෙඳ කලාපය තුළ තියෙන්නෙ. ඒ් නිසා 60%ක් ගම්වල හෝ නගරවල තියෙන නිසා ඒ අවට මිනිසුන් මැදිහත් වෙලා තමන්ට සිදුවන බලපෑමත් එක්ක ආයතන වසා දැමීමට කටයුතු කරනවා. ඒ්ත් කලාප තුළ තියෙන ඇඟලුම් ආයතනවලට ගමේ මිනිසුන්ට මැදිහත්වෙන්න, බලපෑම් කරන්න අමාරුයි. මොකද විශේෂ ආරක්ෂක විධිවිධානත් එක්ක, කලාපය සම්පූර්ණයෙන්ම ගමෙන් වෙන් කරලා තියෙන්නෙ. මේ නිසා මැදිහත් වෙන්න බෑ. ඒ් නිසා තමා වෙළෙඳකලාප කර්මාන්ත ශාලා තවමත් විවෘත කරලා තියෙන්නෙ. මේ තත්ත්වය හැමදාමත් පවත්වාගෙන යන්න බෑ. මෙම වෛරසය හා වසංගත තත්ත්වය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තිබිය යුත්තේ සෞඛ්‍යය අංශයටයි. සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින්ටයි. නමුත් දැන් තීරණ ගන්නේ ඒ් අය නෙවෙයි.  විසඳුමට තමා කෙටි මාර්ග නෑ. අපේ රටේ ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මකයි. ඒ් අයගේ මැදිහත්වීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු වැඩ කරන ජනයාට එන්නත් කළ යුතුයි කියන එක කියනවා. ඇඟලුම් ක්ෂේත්‍ර යේ හාම්පුතුන් පවා තමන්ගෙ වියදමින් තමන්ගේ සේවකයින්ට එන්නත් කරන්න සූදානම්. ඒ් බව ඒ් අය කියනවා. එහෙනම් කවුද මේ වැඩපිළිවෙළ නතර කරගෙන ඉන්නෙ. ඒ්කයි අපි සෙවිය යුත්තෙ..
 
 
සටහන- පී.ඩබ් මුතුකුඩආරච්චි