කොවිඩ් හමුවේ අසරණවූ ගෘහ සේවයේ කම්කරුවන් ජනපතිගෙන් සහනයක් පතයි

කොවිඩ් හමුවේ අසරණවූ ගෘහ සේවයේ කම්කරුවන් ජනපතිගෙන් සහනයක් පතයි

ප්‍රොටෙක්ට් සංගමයේ කොළඹ ශාඛාවේ ගෘහස්ථ කම්කරුවන් විසින් ඊයේ දින වසංගතය නිසා තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.  කිසිදු රැකියා කොන්දේසි හෝ අයිතිවාසිකම් නොමැතිව සෑම දිනෙකම මුහුණ දෙන අර්බුධයන් කොරෝනා වසංගතය නිසා තව තවත් උග්‍ර වී ඇති බව ඔවුන් පවසයි.

ඔවුන්ගෙන් බහුතරක්  දෙනා දෛනික වැටුප් උපයමින් ගෘහ සේවයේ නිරතවන කම්කරුවන් වන අතර මාස ගණනක් තිස්සේ ඔවුන්ට රැකියාවට යාමට නොහැකි විය. තම කන කර තිබෙන සියලු ආභරණ පවා විකුණා පසුගිය කොරෝනා රැල්ලේදී යන්තම්  ජීවිතය ගැටගහ ගත්  ඔවුන්ට මෙවර කිසිදු පිළිසරණක් නොමැත. ඔවුන් පවසන පරිදි රජය විසින් රු.10000ක් වටිනවා යයි කියන ආධාර මල්ල ලැබෙන්නේ කොරෝනා ආසාධිතයන්ටය. එසේම අවුරුදු දීමනාවක් ලෙස ලැබුණු 5000 ලැබී ඇත්තේ සමෘද්ධි ලාභීන්ට සහ පොරොත්තු ලේඛණයේ සිටි අයටය. නමුත් සැබෑ ලෙසම මේ මොහොතේ තම ජීවිකාව අහිමිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බොහෝ පිරිසකට එම ආධාර ලැබී නැත.

තවද සංචරණ සීමා ලිහිල් කළද ඔවුන්ට එළියට යාමට සහ හමුදාපති කියූ ලෙසට ආහාර රැස් කිරීමට මුදල් නොමැති බව ඔවුන් පවසයි. එම නිසා අනෙක් අය වෙළඳ පොළට යද්දී තමන් ඇතුළු පිරිස මෙලෙස බෝඩ් අල්ලාගෙන ජනාධිපතිගෙන් සහන ඉල්ලන බව ඔවුන් පැවසූහ. ග්‍රාම නිලධාරී මට්ටමෙන් රැකියා අහිමි වූ අවිධිමත් කම්කරුවන්ගේ තොරතුරු ලබාගෙන ඒ සඳහා සහන වැඩපිළිවෙලක් සකස්කර දෙන මෙන් ඔවුන් ජනාධිපතිගෙන් ඉල්ලා සිටී. එසේම වසර ගණනාවක් තිස්සේ ගෘහ සේවකයන් වෙනුවන් කම්කරු අයිතිවාසිකම් බලාත්මක කර නිශ්චිත රැකියා කොන්දේසි සඳහන් නීති පද්ධතියක් ඉල්ලා සිටින නමුදු මේ වනතුරැ ඒ සඳහා සාකච්චාවක් හෝ බලධාරීන් ඔවුන්ට ලබා දී නැත. තවද ඒ සඳහා සාකච්චාවක් ලබා දීමට මිට මාස කිහිපයකට පෙර පොරොන්දු වී තිබුණද එම පොරොන්දු මැතිවරණ කාලයේ ලබා දෙන පොරොන්දු ගානටම වැටී ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.  හැකි ඉක්මණින් තම ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා හමුවක් ලබා දෙන මෙන් ඔවුන් කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින අතර මේ මොහොතේ වසංගතයෙන් පත්ව ඇති පීඩාවන්ට තමා චන්දය දී පත්කර ගත් ජනාධිපතිගෙන් සහනයක් බලාපොරොත්තු වේ. 

1