කොවිඩ් ප්‍රතිකාර සදහා යොදවන ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂිත පුහුණුවක්

කොවිඩ් ප්‍රතිකාර සදහා යොදවන ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂිත පුහුණුවක්

කොවිඩ් වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබදව පුහුණූවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඉදිරි දින දෙක තුල මෙම පුහුණූ කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති කොවිඩ් 19 විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුවේ දී මෙම තීරණය ගන්නා ලදි.

අද දින (28) පැවැති මෙම රැස්වීමේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල ආයෝජන කළාපයන් හි ඇඟළුම් කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ඉළක්ක කර ගනිමින් විශේෂිත එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට තීරණය විය.

මෙරට ආර්ථීකය නගා සිටුවීමට සෘජුවම දායකත්වයක් ලබාදෙන වෙළෙද කළාපවල සේවයේ නියුතු සේවික සේවිකාවන් ආරක්ෂා කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දෙන ලදි.

එමෙන්ම බස්නාහිර පළාතට මෙන්ම ප්‍රමුඛත්වය ලබාදිය යුතු අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවට ද එන්නත්කරණය සිදු කිරීමට සැළැසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙහිදී අදහස් දක්වමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේ කොවිඩ් මර්දනය සදහා අවශ්‍ය භෞතික සම්පත් සහ මානව සම්පත් නොඅඩුව ලබාදීමට අවශ්‍ය උපදෙස් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් වන වෛද්‍ය සමන් රත්නායක මහතා, කුමාරි වීරසේකර මහත්මිය සහ අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග සහ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.