වාප්පු නිලධාරින්ට ආරක්ෂාව ඉල්ලයි

Wharf-officers

කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ වාප්පු නිලධාරීන් අත්‍යාවශ්‍ය සේවා සැපයීමට අවශ්‍ය කරන පහසුකම් ඉල්ලා සිටිමින් ලංකා වාප්පු සේවා සංගමය අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, භාණ්ඩ ආනයනයේදී හා අපනයනයේදී නිෂ්කාෂණ ක්‍රියාවලියට අදාල ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේතුවත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියත්, හා ආනයන අපනයනකරුවන් අතර සම්බන්ධතා සලසන සේවාවන් ලෙස වාප්පු නිලධාරීන්ගේ සේවය ඉතා වැදගත් වන තඅර එයට අදාල ක්‍රමවේදයන් නොසලකන්නේ ඇයිදැයි යන්න ගැටලූ ගණනාවක් පැන නැගීමට හේතුවක් වී ඇත. 20,000 ක් පමණ වාප්පු නිලධාරීන් මෙම භාණ්ඩ නිෂ්කාෂණ සේවාවන් හී ලියාපදිංචිව සේවයේ යෙදෙන අතර කොවිඩ්- 19 තත්වය යටතේද ඉන් 7000 ක පමණ පිරිසක් තම සේවාවන් වල නියැලෙමින් ඇත.

කොවිඩ්- 19 දෙවන රැල්ල රටතුල පැන නැගුණු අවස්ථාවේදී 2020.11.17 වන දින දාතමින් කොවිඩ්- 19 හේතුවෙන් වාප්පු නිලධාරීන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂාව සලස්වන ලෙස ඉල්ලා රේගු අධ්‍යක්‍ෂකවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. එයට අමතරව ජාතික කොවිඩ් පිටු දැකීමේ සභාපතිතුමන් වෙත ද 2020.12.07 වන දින අප සංගමයේ ලිපියක් යොමු කරමින් වාප්පු නිලධාරීන් වෙත ඇති මෙම අවධානම පැහැදිලි කර දී ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂාව සැපයීම සඳහා යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කරන ලදී. එහෙත් ඒ සඳහා පියවර ගැනීමක් සිදු නොවුනු අතර විශේෂයෙන් වාප්පු නිලධාරීන් හට තම ලේඛණ ඉදිරිපත් කරන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කවුළුව හා වරාය අධිකාරියේ කවුළුව අසල තදබදයක් නොවන ආකාරයෙන් ක්‍රමවේදයන් සකස් කිරීමට අප විසින් යෝජනා කරන ලදී. එය සලකා බැලීමට රේගු දෙපාර්තමේන්තුව සැලකිලිමත් වී නොමැත.

වාප්පු නිලධාරීන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සලකන්නේ නම් ඔවුන්ට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්ට කොවිඩ්- 19 මර්දන එන්නත් කිරීම සිදුවූවා සේ හදිසි කාරණයක් සේ සලකා වාප්පු නිලධාරීන්ටද කොවිඩ් මර්දන එන්නත එන්නත් කිරීමට අවශ්‍යව තිබුණි. එහෙත් එසේ නොකිරීම හේතුවෙන් රේගු නිලධාරීන්ට හා වරාය සේවකයන්ට නැවත නැවතත් කොවිඩ්- 19 ආසාදනය සිදු වූ බව වාර්තා වී ඇත. මෙම වාප්පු නිලධාරීන් සම්බන්ධව ගැටළුව අවධානයට ගැනීම පසෙක දමා වාප්පු නිලධාරීන් පරිභව කිරීම අවස්ථා කිහිපයකදී දැක ගැනීමට හැකිවූ අතර ඉන් එක්

අවස්ථාවක් ලෙස වාප්පු නිලධාරීන් ගැවසෙන ඡායාරූප බැනර් මගින් ප්‍රදර්ශනය කර වරාය භූමිය තුළ ඔවුන් අපහසුතාවයට ලක් කර ඇත.

එම නිසා ඔබතුමා මුදල් අමාත්‍යවරයා ලෙස වාප්පු නිලධාරීන් හට ආනයන අපනයන ක්‍රියාවලිය අත්‍යාවශ්‍යයෙන්ම කරලීමට අවශ්‍ය කරන ගැටළු පහත සඳහන් කර එවන අප සංගමය රජයේ වගකීමක් ලෙස ඒ සඳහා මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

1. ආනයන හා අපනයන ක්‍රියාවලියේ ලිපි ලේකණ ඉදිරිපත් කිරීමේදී තදබදය නොවන ලෙස කවුළු අසල ක්‍රමවේදයක් සකස් කිරීම,
2. වාප්පු නිලධාරීන්ට කොවිඩ්- 19 එන්නත අත්‍යාවශ්‍ය කරුණක් සේ සලකා ලබාදීමට ක්‍රමවේදයක් ඉතාමත් ඉක්මනින් සකස් කිරීම,
3. වාප්පු සේවකයින්ගේ ඡායාරූප බැනර් මගින් වරාය තුළ ප්‍රදර්ශය කිරීමේන් ඉවත් කිරීම.