සාමකාමී උද්ඝෝෂණවලට බලපෑම් එපා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට කියයි

සාමකාමී උද්ඝෝෂණවලට බලපෑම් එපා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට කියයි

අධිකරණයෙන් ඇප මත නිදහස් කරන ලද පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමට ගන්නා ක්‍රියාකාරකම් බලහත්කාරී, නීතිවිරෝධී හා අධිකරණයට කරන අපහාසයක් යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියාකාරකම් ලෙස ලැයිස්තුගත කර නොමැති බව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිසි ලෙස භාවිතා කිරීමට පොලිසියට ඉඩ නොදෙන ලෙස එම ලිපිය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සහ එහි ලේකම් රජීව් අමරසුරියගේ අත්සනින් එම ලිපිය නිකුත් කර ඇත.

COVID-19 ට අදාළ සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝන කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව සිය සංගමයේ දැඩි කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම් නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

විරෝධතා දැක්වීමට ඔවුන්ගේ සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන බවත්, නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් බවත් එය දඩුවමක් හෝ රැඳවුම් ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතු බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.

අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත්තේ පොලිස් මාධ්‍ය අංශය විසින් විමර්ශන අංක PMD/PR/845/21 දරණ 6-07-2021 දිනැති මාධ්‍ය නිවේදනයකින් පසුව බව සඳහන් කරන නීතිඥ සංගමය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ), (ආ) සහ (ඇ) වගන්ති මගින් සහතික කර ඇති මහජන විරෝධතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වැදගත් මූලික අයිතිවාසිකම් තුනක් බව ද පෙන්වා දෙයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය මගින් මූලික අයිතිවාසිකමක් ලෙස බැඳී ඇති චින්තනයේ නිදහස ද මහජන විරෝධතා ශක්තිමත් කරන වැඩි දුරටත් බවත් සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඇති අයිතිවාසිකම් මහජන සෞඛ්‍යය සඳහා නීතියෙන් සීමා කළ හැකි වුවත් එවැනි සීමා කිරීම් නීතියෙන් කළ යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

මේ අතර, ඕනෑම සංවිධානාත්මක විරෝධතා මහජන සෞඛ්‍යයට අවදානමක් නොවන අයුරින් සිදු කළ යුතු බවත්, විරෝධතා හෝ පෙළපාලි හෝ ඒ හා සමාන අභ්‍යාසවලට සහභාගී වීමට අදහස් කරන පුද්ගලයින් ඒවාට අනුකූල වන බවට සහතික විය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කරයි.