ලංගම සති දෙකක් වසන්න

ලංගම සති දෙකක් වසන්න

තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම සලසා ගත යුතුය යන ක්‍රම වේදයට ශ්‍රී ලංගම සේවකයින් පත් නොකර සේවක ජීවිත රැකගැනීමට අවම වශයෙන් සති දෙකක්වත් ශ්‍රී ලංගමය වසා දැමීමට මැදිහත්වන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මේ මොහොත වන විට කොරෝනා උවදුරට ශ්‍රී ලංගම සේවකයින් විශාල වශයෙන් ගොදුරු වී ඇත.

ශ්‍රී ලංගම සේවකයින් 300 කට ආසන්න ප්‍රමාණයක් කොරෝනා වැළඳී ඇත. යටිනුවර, ජාඇල, කඩවත, CBS මොරටුව, කැස්බෑව, කතරගම, තංගල්ල, අම්බලන්තොට, කැප්පිටිපොල, මහියංගනය, බදුල්ල, බංඩාරවෙල, ඇඹිලිපිටිය, රත්මලාන, උඩහමුල්ල, කොග්ගල යන ඩිපෝ වල සේවකයින් මෙම උවදුරට ගොදුරු වී ඇත.

කොග්ගල ඩිපෝවේ සේවකයෙක් කොරෝනා නිසා මිය යන ලදී. ජාඇල ඩිපෝවේ පෙරේරා නැමති සේවකයාට කොරෝනා වැළඳී ඉන්පසු ඔහුගේ මවට ද මෙම රෝගය වැළඳී ඇති අතර එම මව අකාලයේ මියගොස් ඇත. මේ ආකාරයට ශ්‍රී ලංගම සේවකයින් කොරෝනා උවදුරට දිගින් දිගටම ගොදුරු වුවහොත් ඊළඟ කොරෝනා පොකුර ශ්‍රී ලංගමය තුළින් බිහිවීමට ඉඩකඩ ඇත.

මෙම විනාශය වැළක්වීමට අවම වශයෙන් ශ්‍රී ලංගමය සති දෙකකට වත් වසා දැමීම කළ යුතු බව අප සංගමයේ විශ්වාසයයි. එසේ නැතිව ශ්‍රී ලංගම සේවකයින් තමන්ගේ ආරක්‍ෂාව තමන්ම සලසා ගත යුතුය යන ක්‍රම වේදයට ඔවුන් පත්කලහොත් අනිවාර්යෙන්ම එම සේවකයින් විසින්ම ඔවුන්ගේ ආරක්‍ෂාව සලසා ගැනීමට මැදිහත් වීමට ඉඩකඩ ඇත.

එම තත්ත්වයට ශ්‍රී ලංගම සේවකයින් පත් නොකර ඔබතුමා මැදිහත් වී අවම වශයෙන් සති දෙකක් වත් ශ්‍රී ලංගමය වසා තැබීමට මැදිහත් වන ලෙස වගකිව යුතු වෘතීය සමිතියක් ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.