ආණ්ඩුවේ යෝජනා ගුරු සංගම් ඉවත දමයි

ආණ්ඩුවේ යෝජනා ගුරු සංගම් ඉවත දමයි

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගත හැකි විසඳුමක් නොවන බැවින් ඔන්ලයින් ගුරු වර්ජනය ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සේවාවේ ගුණාත්මකභාවය, ගෞරවය, ජීවන වියදමට සරිලන වැටුපක් ලබාගැනීම සඳහා දියත් කළ සටන රුපියල් 5,000කට ලඝු කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සූදානම් නැතැයි ද එම සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ ඊයේ (31) පැවසූහ.

මෙහිදී සුබෝධනී කමිටු වාර්තාව මත පදනම් වූ විසඳුමකට යා යුතු බවටත්, එසේ කරන තුරු ඇමති අනු කමිටුව යෝජනා කළ 2018 වැටුප් යෝජනාව එකවර ලබාදෙන ලෙසටත් ගුරු සංගම් ඉදිරිපත් කළ යෝජනා ගැන රජය කිසිඳු සැලකිල්ලක් දක්වා නැති බවත්, ඒ අකාරයේ විසඳුමක් ලැබෙන තුරු සටන ඉදිරියට ගෙන යන බවත් ඔවුහු සඳහන් කළහ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය (30) දින ගත් තීන්දු සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ දී ඊයේ(31) පැවති මාධ්‍ය හමුවකදී එම නියෝජිතයෝ මේ බව සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ තම ගැටලුව විසඳීමට බව කියමින් කැබිනට් මණ්ඩලය සම්මතර කර ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ වූ යෝජනා තමන් ප්‍රතික්‍ෂේප කරන බවයි.

ගුරු විදුහල්පති සංගම් ඉකුත් 26 වැනිදා නව අධ්‍යාපන ඇමතිවරයා හමුවී ඇමති අනුකාරක සභාව යෝජනා කරන 2018 වැටුප් යෝජනාව සුබෝධනී කමිටු වාර්තා කොටසක් ලෙස ගෙන එන ලෙස යෝජනා කළ බවත්, ඇමතිවරයා අනුකාරක සභාව හෝ කැබිනට් මණ්ඩලය එම යෝජනාව සැලකිල්ලට ගෙන නොමැති බවත්ය.

ආණ්ඩුව වෘත්තීය සමිතිවල ඉල්ලීම නොසලකා කටයුතු කරන්නේ නම් ඉල්ලීම් ලබාදෙන තුරු මේ වන විට දින 51ක් තිස්සේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වෙමින් ඉතා ශක්තිමත්ව කැපවීමෙන් දියත් කර ඇති අරගලය තවදුරටත් පෙරට ගෙනයාමට සිදුවන බව ද ඔහු කීවේය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

(ලංකාදීප)