එන්නතකරණය සෞඛ්‍ය සේවාවෙන් ඉවත් කිරීම, ඓතිහාසික සෞඛ්‍ය වරදක්

එන්නතකරණය සෞඛ්‍ය සේවාවෙන් ඉවත් කිරීම, ඓතිහාසික සෞඛ්‍ය වරදක්

සෞඛ්‍ය සේවාවේ ව්‍යුහය නොසලකමින් මහජනතාව අනවශ්‍ය ලෙස එකම ස්ථානයක එන්නත් සදහා ගාල් කර ගැනීම සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාතමක ක්‍රමය නොවන අතර වසංගතයක් සදහා කිසිසේත්ම නොගැලපෙන්නක් බවත්, එය සෞඛ්‍ය සේවාවෙන් ඉවත් කිරීම බරපතල ඓතිහාසික වරදක් බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෞඛ්‍ය සේවාව තුල පැවති හැකියාවන් නිවැරදිව භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙමින්, මතුවන විවිධ ජන කැලඹවීම සදහා විශාල ප්‍රචාරයක් ලබා දෙමින් එන්නත්කරණය සෞඛ්‍ය සේවවෙන් පිටමං කිරීමට සැලසුම් සහගත උත්සාහයක් පවතින බව නිරීක්ෂණය වේ. මේවන විට රටේ විශාලතම ඉල්ලුම ඇති ෆයිසර් එන්නත, ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට අපොහොසත්වීම කිසිසේත්ම සෞඛ්‍ය කාර්‍යමණඩලයේ වරදක් නොවන අතර, ෆයිසර් එන්නත විදීම සම්පූර්ණයෙන්ම යුධ හමුදාවට පැවරීම වැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියකි.

ලංකාවේ සෑම ගමකම ඉතා විදිමත් ව්‍යුහයක් යටතේ සෞඛ්‍ය සේවාව විහිදී ඇති අතර ප්‍රධාන රෝහල් පද්ධතියට අමතරව, ප්‍රාථමික සත්කාර ඒකක 1500ක්, දිසා රෝහල් 500ක්, මූලික රෝහල් 70ක් පමණ තිබියදී, විවිධ ස්ථාන වල සැණකෙලි ස්වරූපයෙන් එන්නතකරණය සිදු කිරීම හේතුවෙන් සෞඛ්‍ය අයතනවල ව්‍යුහාත්මක පදනම දෙදරාගොස් ඇත.

ඒසේම ඕනෑම තැනක ඕනෑම ප්‍රමාණයකට එන්නත් විදීම සදහා එන්නත් ලබා දී නොතිබෙන තත්වයක් හමුවේ, ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනකදී එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරීන් විසින්ම ප්‍රකාශ කිරීම හරහා මෙම තත්වය වඩාත් බරපතල වී ඇත. සෞඛ්‍ය සේවාවේ ව්‍යුහය නොසලකමින් මහජනතාව අනවශ්‍ය ලෙස එකම ස්ථානයක එන්නත් සදහා ගාල් කර ගැනීම සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාතමක ක්‍රමය නොවන අතර වසංගතයක් සදහා කිසිසේත්ම ගැලපෙන්නේ නැත.

එසේම, ඒ හේතුවෙන්ම ඇති වන මහජන නොසන්සුන්තාවයන් හා කලහකාරීත්වයන් පෙන්වමින් සෞඛ්‍ය සේවාවේ එන්නත් ක්‍රියාවලිය අසාර්ථක බව හැඟවීම යථාර්ථය නොවේ. තවද, සෞඛ්‍ය පරිපාලනයේ සහ සුළු සුළු වශයෙන් සිදුවන පුද්ගලික වැරදි සදහා දඩුවම් ලබා දෙමින් ඒවා නිවැරදි කිරීම වෙනුවට, ඒවා දඩමීමා කර ගනිමින් සෞඛ්‍ය සේවාවේ කාර්යයන් ක්‍රමාණුකූලව හමුදාකරණය කිරීම බරපතලය.

මෙම තත්වය පිළිබදව දැඩි සැලකිල්ල යොමුකොට, සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කරමින් හා සෞඛ්‍ය සේවාවේ කාර්යයන් ඒ සදහා වැටුප් ලබන නිළධාරීන්ගේ වගකීමක් බවට පත්කොට, ඊට සමගාමීව පිරිහී ඇති මහජන අවශ්‍යතාවන් හා සමාජ සුභසාධනය තහවුරු කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ ශක්තිය සහ දායකත්වය උපරිමයෙන් යොදවා ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

tucc letter