සුමන්දිරන්ගේ පනත් කෙටුම්පතට කම්කරුවන් සංශෝධන ඉදිරිපත් කරයි

m-a-sumanthiran

සෞඛ්‍ය ආපදා කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති ඔබගේ පෞද්ගලික මන්ත්‍රී පනත්කෙටුම්පතට සහයෝගය පළකිරීම හා විවාදයට ගනු ලබන අවස්ථාවේදී එයට ඇතුළත් කිරීම සඳහා  වැදගත් කරුණු ලෙස පහත සඳහන් සංශෝධන දෙක (02) ඇතුළත් කරන මෙන් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම්, ඇන්ටන් මාකස් මහතා පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

ඔබ විසින් මහජන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් 2020 අංක ... දරන මහජන සෞඛ්‍ය ආපදා පනත නමැති පනත්කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බව දැන අපි බෙහෙවින්ම සතුටට පත් වූ නමුදු පුරා වර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ නායකත්වය මෙම ඉතා හදිසි ව්‍යවස්ථා සම්පාදනයට නිසි වැදගත්කම ලබා දී නොතිබීම පිළිබඳව අපි බලවත් සේ කලකිරීමට පත්ව සිටිමු.

ආණ්ඩුව විසින් නිසි නීති සම්පාදනයෙන් තොරව අඛණ්ඩව ගනු ලබන කොවිඩ්-19 වසංගත නිවාරණ හා හදිසි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ තනිවම පාහේ කරන මැදිහත්වීම පිළිබඳවද අපි ඔබට බෙහෙවින්ම ප්‍රශංසා කරමු. හදිසි මහජන සෞඛ්‍ය වාතාවරණයන් පිළිබඳව වූ මෙම පනත්කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කිරීමෙහිලා පාර්ලිමේන්තුවේ සිටින සියලුම ව්‍යවස්ථා සම්පාදකයින්ගේ අනවශ්‍ය ප්‍රමාදය හා පූර්ණ වගකීම් විරහිත බව මගින් සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මැඩලමින් හදිසි නීතිය පැනවීමට ආණ්ඩුවට ඉඩ සලසා දීම හමුවේ, මෙම පනත්කෙටුම්පත වහාම විවාදයට ගෙන එය නීතියක් බවට සම්මත කරන ලෙස ප්‍රමාද වී වුවද සියලුම මන්ත්‍රීවරුන්ගෙන් දැඩිව ඉල්ලීම වෘත්තීය සමිතිවල හා සිවිල් සංවිධානවල වගකීම බව අපි විශ්වාස කරමු.

මේ අතර ඔබගේ පනත්කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ විවාදයට ගනු ලබන අවස්ථාවේදී අපගේ වෘත්තීය සමිතිය තීරණය කර ඇති පහත සඳහන් සංශෝධන 02 ඇතුළත් කරන මෙන් ඔබට යෝජනා කර සිටිමු. ඒවා ව්‍යවස්ථා සම්පාදනය සඳහා ප්‍රමාණවත් ලෙස රචනය කර නොමැති යැයි ඔබට හැඟේ නම් ඒවා වැඩිදුර දියුණු කළ හැකිය.

(පනත්කෙටුම්පත තුළ අවශ්‍ය පරිදි අංකනය කළ යුතුය.)

  1. මෙම පනතේ 2 වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය ආපදාවක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක, අදාළ නිශ්චිත රෝගය පැතිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමද ඇතුළුව මෙම පනතේ II කොටසේ 05 වගන්තිය යටතේ දක්වා ඇති, අදාළ බෝවන රෝගය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම බලතල පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත පැවරීම හා එම කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ වෙනත් තාක්ෂණික හා මානව සම්පත් ලබා දීම වහාම සිදු කළ යුතු අතරම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධිකාරි බලය යටතේ ප්‍රදේශයේ බෝවන රෝග නිවාරණ කේන්ද්‍රය ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය.
  2. මෙම පනතේ 2 වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය ආපදාවක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක, සෞඛ්‍ය බලධාරීන් විසින් කලින් කලට ප්‍රකාශයට පත් කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්ව, අවශ්‍ය තැන්හිදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද නිවාරණීය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම හා නිරීක්ෂණය කිරීම පිණිස, සේවකයින් විසින් නම් කරන ලද සේවක නියෝජිතයින්ගෙන් හා කම්හල් කළමනාකාරිත්වයේ නියෝජිතයින්ගෙන් සමන්විත ද්වීපාර්ශ්වික කමිටු වශයෙන් වූ “කම්හල් සෞඛ්‍ය කමිටු” සියලුම ක්ෂේත්‍රයන්හි සෑම නිෂ්පාදන කර්මාන්තායතනයක් තුළම සංස්ථාපිත කරනු ලැබිය යුතුය.

ඉහත විධිවිධානයන් නෛතික ලෙස හා නිසි අධිකාරි බලයෙන් යුතුව ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය රෙගුලාසිද පනවන මෙන් අපි යෝජනා කරමු.

ඉහත සඳහන් කරන ලද ඔබගේ පෞද්ගලික මන්ත්‍රී පනත්කෙටුම්පත තවදුරටත් ප්‍රමාදයකින් තොරව නීතියක් ලෙස පනවන බව තහවුරු කරනු පිණිස අවශ්‍ය පූර්ණ සහයෝගය අපගේ ශක්ති ප්‍රමාණයෙන් අපි ලබා දෙන්නෙමු.

අප සාමාජිකත්වය විසින් බෙහෙවින් අගය කරනු ලබන ඔබගේ ඉතාමත් සැලකිලිවන්ත මැදිහත්වීම පිළිබඳව ඔබට නැවතත් ස්තුති කරමි.