ගුරු විදුහල්පති අරගලය නව මානයකින් පෙරට

ගුරු විදුහල්පති අරගලය නව මානයකින් පෙරට
  • ඔක්තෝම්බර් 25 රට පුරා උද්ඝෝෂණ - රාජකාරි කටයුතු 7.30 සිට 1.30 දක්වා පමණයි

ඔක්තෝබර් 25 දින සිට විදුහල්පතිවරු සහ ප‍්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරු සේවයට වාර්තා කළ ද ගුරු විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ලැබෙන තුරු පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 ක්වා කාලයේ ඉගැන්වීම් කටයුතු පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ, යල්වෙල පඤ්ඥාසේකර හිමියන් අත්සනින් මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, 2021.10.25 දින පාසල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා වූ ප‍්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වන අතර, ප‍්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් සිදු කරන ගුරුවරු සහ විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇත. කෝවිඩ් 19 තත්වය මත වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ වන අතර, පළමු සහ දෙවන අදියර ඔක්තෝම්බර් 25 දින ආරම්භ වේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් 2021 ජුලි 12 දින ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීම වෙනුවෙන් දැවැන්ත අරගලයක් පෙරට ගන්නා ලද අතර මේ වන විට එම අරගලය දින 100 කට වැඩි කාලයක් ඉක්මාව ඇත. ආණ්ඩුව පාර්ශවයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති අතර, ගුරු විදුහල්පතිවරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ අවශ්‍යතාවය සලකා පාසල් ගොස් ඉගැන්වීම් කටයුතු පමණක් සිදු කරමින් වැටුප් අරගලය නව මානයකින් පෙරට ගෙන යාමට තීරණය කර ඇත.

ඒ අනුව 25 දින විදුහල්පතිවරු සහ ප‍්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරු සේවයට වාර්තා කළ ද ගුරු විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ලැබෙන තුරු පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 ක්වා කාලයේ ඉගැන්වීම් කටයුතු පමණක් සිදු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 7.30 ට පෙර හෝ 1.30 පසු හා සෙනසුරාදා ඉරිදා ඇතුළු නිවාඩු දිනවල සිදු කරන කටයුතු, පෞද්ගලික දුරකතන රාජකාරි සඳහා භාවිතා නොකිරීම, මාර්ගගත ඉගැන්වීම් දරුවන්ට සහ ගුරුවරුන්ට පහසුකම් ලබාදෙනතෙක් නොකිරීම, බාහිර ආයතන වලින් එන රාජකාරි, පාසැලේ විවිධ ව්‍යාපෘති, හැදුනුම්පත් සැකසීමේ වැඩ, සෞඛ්‍ය අංශ වල කටයුතු, වැඩ මුළු උත්සව සංවිධානය, කලාප හා කොට්ඨාස කාර්යාල වලට තොරතුරු ලබාදීම, ප‍්‍රමිති ලිපිගොණු සැකසීම, වාර්ෂික හා පස් අවුරුදු සැලසුම් සැකසීම, භාණ්ඩ සමීක්ෂණ, පාසැල් පින්තාරු කිරීම්, පාසැල් අධ්‍යාපන චාරිකා හා වැඩමුළු සදහා සිසුන් රැගෙන යාම, පාසැල් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීම ඇතුළු කටයුතුවලින් ඉවත් වීමට ගුරුවරු සහ විදුහල්පතිවරු තීරණය කර ඇත.

එසේම ඔක්තෝම්බර් 25 දින ප.ව. 2.00 ට දිවයින පුරා සෑම නගරයකම ඒ ඒ ප‍්‍රදේශවල ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රමවේදය අනුගමනය කරමින් උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ ආකාරයෙන් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරමින් වැටුප් ගැටලූවට විසඳුම් ලබාදෙන තුරු ගුරු විදුහල්පති වෘත්තීය කි‍්‍රයාමාර්ග පෙරට ගෙන යාමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කටයුතු යොදා ඇති අතර, නොවැම්බර් 12 දින අයවැය මගින් වැටුප් ගැටලූවට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල අනු කමිටුව යෝජනා කළ වැටුප සුභෝධනී වැටුප් යෝජනාවේ පළමු කොටස ලෙස ලබාදීමට කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නියැලීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමු.