මහජන බැංකුව අසාදුගත කරන බවට චීනය තර්ජනය කරලා

මහජන බැංකුව අසාදුගත කරන බවට චීනය තර්ජනය කරලා

චීනයෙන් චීනයෙන් කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ලංකා පොහොර සමාගම වෙනුවෙන් ණයවර නිකුත් කිරීම තුළ, එම ණයවර ලිපි ගෙවීම් නොකළහොත් මහජන බැංකුව චීනය තුළ අසාදුගත කරන බවට එම සමාගම තර්ජනය කර ඇති බවත්, මෙම තත්ත්වය පිළිඳව ගනුදෙනුවල සත්‍යතාවයන් හෙලිදරව් කරමින් ඒවාට හවුල් වු පුද්ගලයන් වේ නම් ඔවුන් වෙත නිසි පියවර ගන්නා අතර මහජන බැංකුවට රටේ හා ජනතාව අතර නිර්මාණය වී තිබෙන ගැටලූ වලට නිසි පැහැදිලි කිරීම් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ලංකා බැංකු සේවක සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, චීනයෙන් කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ලංකා පොහොර සමාගම වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම තුළ මහජන බැංකුවේ ව්‍යාපාරික පැවැත්මට තර්ජනයක් එල්ලවී ඇත. පොහොර සමාගම එම ණයවර ලිපි ගෙවීම් කිරීමට එරෙහිව වාණිජ මහාධිකරණයේහි අතුරු තහනම් නියෝග ලබාගෙන ඇති අතර ණයවර ලිපි ගෙවීම් නොකළහොත් මහජන බැංකුව චීනය තුළ අසාදුගත කරන බවට එම සමාගම තර්ජනය කර ඇත. එම තත්ත්වය මහජන බැංකුවේ විදේශ ගනුදෙනුවලට අහිතකර බලපෑම් ඇති කරවන්නකි.

ඒ අතර ඉන්දියාවෙන් නයිට‍්‍රජන් පොහොර ගෙන්වීම සඳහා ලංකා පොහොර සමාගම වෙනුවෙන් මහජන බැංකුව සිදුකළ ගනුදෙනුවක් පිළිබඳව මාධ්‍ය වලින් කළ හෙලිදරව්ව සමග මහජන බැංකුව හා එහි නිලධාරී කිහිප දෙනෙක්ද අවදානමකට ලක්ව ඇත. හෙලිදරව් වී ඇති කරුණු අනුව ජාතික අවශ්‍යතාවන් මත මෙම පොහොර ගෙන්වීමේ ක‍්‍රියාවලියට මුවා වී යම් දූෂණ ගනුදෙනුවක් සිදුවී ඇති බව පෙනීයයි. එලෙස යම් දූෂණ හෝ වංචනික කටයුත්තකට මහජන බැංකුව සම්බන්ධ කිරිම තුළ එහි කීර්ති නාමයට බලපෑමක් ඇතිවී ඇත.

රටේ බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබද්දි මහජන බැංකුව ඇතුලූ රාජ්‍ය බැංකු ලාභ උපයමින් රටේ ආර්ථික සංවර්ධනයට දායක වේ. මෙම බැංකු ගොඩනැගී ඇත්තේ රටේ පොදු මහජනතාවගේ ඉතුරුම් තුළිනි. එබැවින් මෙම වටිනා ජාතික සම්පත රැක ගනිමින් ඒවායේ ව්‍යාපාරික පැවැත්ම සුරක්‍ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමකි. මෙවන් ගැටලූ සහගත හා දූෂිත ගනුදෙනු වලට එම බැංකු සම්බන්ධ කරගනිමින් ඒවා අවදානමක ලක්කිරීම කණගාටුදායක තත්ත්වයක් වන අතර ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන් ඒවාට සම්බන්ධ වී තිබේ නම් එය වඩාත් බරපතලය.

එබැවින් මෙම ගනුදෙනුවල සත්‍යතාවයන් හෙලිදරව් කරමින් ඒවාට හවුල් වු පුද්ගලයන් වේ නම් ඔවුන් වෙත නිසි පියවර ගන්නා අතර මහජන බැංකුවට රටේ හා ජනතාව අතර නිර්මාණය වී තිබෙන ගැටලූ වලට නිසි පැහැදිලි කිරීම් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබතුමා වෙතින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.