රජයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට මේ ආරංචිය නම් එතරම් සුබ නෑ

රජයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට මේ ආරංචිය නම් එතරම් සුබ නෑ

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යාමෙන් ඉදිරි වසර පහ ඇතුළත තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා එක්ලක්ෂ පනස්දහසක් අහිමි වී යනු ඇතැයි ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

2022 සිට ඉදිරි වසර පහ ගතවන තෙක් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැනීම නතරවීමෙන් මෙම තත්ත්වය උද්ගත වන බව පෙන්වාදුන් බව ශ්‍රී ලංකා විගණන සේවයේ සභාපති ප්‍රසාද් ප්‍රසන්න පවසයි. පහළොස් ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයන් අතරින් සෑම වසරකම තිස්දහසක් පමණ අවුරුදු හැට සපුරා විශ්‍රාම ගත් බවත් ඊට සමාන පිරිසකට රාජ්‍ය සේවයට ඇතුළත් වීමට අවස්ථාවක් හිමි වූ බවත් විගණන සේවා සංගමය පෙන්වා දී ඇත. රාජ්‍ය සේවයට අදාළව සේවා ව්‍යවස්ථාවන්හි විවෘත බඳවා ගැනීම්වලට අයැදුම් කළ හැකි උපරිම වයස අවුරුදු 28කි. විශ්වවිද්‍යාල මගින් පිටවන උපාධිධාරීන්ගේ වයස අවුරුදු 22ත් 25ත් අතර වන අතර වසර පහකට බඳවාගැනීම් නතර වුවහොත් බහුතරයකට විවෘත ධාරාවෙන් රාජ්‍ය සේවයේ රැකියා අහිමි වන බව ප්‍රසාද් ප්‍රසන්න පවසයි.

රාජ්‍ය සේවයට නවීන දැනුම හා තාක්ෂණික ගුණය සහිත තරුණ තරුණියන්ගේ සේවය අහිමිවීමෙන් රාජ්‍ය සේවයේ ගුණාත්මක වර්ධනය පසුබෑමකට ලක්වීම මෙන්ම උසස්වීම් සීමාවීම, උසස්වීම් අහිමි වීම යන කාරණා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පහළ වැටීමටද හේතුවිය හැකි බව විගණන සේවා සංගමය පෙන්වා දී ඇත.

මෙම අර්බුදය විසඳා ගැනීමට විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණය අදියර හතරකින් ක්‍රියාත්මක කරන්නැයිද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව මේ වන විට අවුරුදු 58ට වැඩි අය වයස අවුරුදු 62 දක්වාත්, අවුරුදු 57ත් 58ත් අතර සිටින අය වයස අවුරුදු 63 දක්වාත්. අවුරුදු 56ත් 57ත් අතර අය අවුරුදු 64 දක්වාත්, අවුරුදු 56ට අඩු අය අවුරුදු 65 දක්වාත් වන පරිදි විශ්‍රාම වයස දීර්ඝ කිරීම එම තීරණය අදියර හතරකින් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මූලාශ්‍රය -අරුණ