රාජ්‍ය සේවකයින්ගේ අභිමානය වෙනුවෙන් ඕනෑම බලවේයක් සමග එකතු වෙනවා

ravi-kumudesh

රාජ්‍ය සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින, ඔවුනගේ අභිමාණය වෙනුවෙන් කැපවන ඕනෑම බලවේගයක් සමග කොන්දේසි විරහිතව එකතු වන බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, සම කැදවුම්කරු, රවී කුමුදේශ් මහතා (01) දින පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කුමුදේස් මහතා, 2020 ජනවාරි මාසයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ රනුක්ගේ කමිටු නිර්දේශ හකුලා දැමීම රාජ්‍ය සේවාව බරපතල අර්බුදයකට සහ අසාධාරණයකට ලක් කරලා තිබෙනවා. වසංගත තත්වය හේතුවෙන් ඉවසීමෙන් කටයුතු කල රාජ්‍ය සේවකයාව රජය මේ මොහොතේ විහිළුවකට ලක් කරමින් ඉන්නවා.

මුදල් ඇමති වරයාගේ නොහැකියාව වසා ගැනීම සදහා රාජ්‍ය සේවාව බරක් කියමින් ඉන්න රජය උද්දච්ච ඇමතිවරු සහ වැඩ බැරි ලේකම්වරු පත් කරලා රාජ්‍ය සේවාව අකර්මන්‍ය කරමින් ඉන්නවා.

කළමණාකරණය දුර්වල වීම හේතුවෙන් දුර්වල වෙලා තියන රාජ්‍ය සේවාට බරක් වී ඇත්තේ ඒවා කාබාසිනියා කරමින් සිටින ඇමතිවරු සහ ලොකු පුටු රත් කරමින් ඉන්න ආණ්ඩුවේ ගජ මිතුරන්.

රජය රනුක්ගේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කලේනම් අද මතුවෙමින් තිබෙන කිසිදු අරගලයක් මතුවෙන්නේ නෑ. ගුරුවරුන් කාල කාන්නීන් බව කියමින්, ඔවුන්ව එලියට ඇද දැමූ සෞඛ්‍ය ඇමති වරයා, දැන් කියනවා වෘත්තීය සමිති සමග විහිළු කිරීමට වෙලාවක් නැහැළු. සෞඛ්‍ය ලේකම්වරයාගේ දුර්වල පාලනයේ ජාඩියට මූඩිය වෙමින් හැසිරෙන ඇමතිවරයාට වෙලාව ඇත්තේ මොනවාටද යන්න අපි ලවා හෙලි කරවා ගන්න එපා කියලා අපි කාරුණිකව ඉල්ලනවා.

උපාධිධාරී සෞඛ්‍ය වෘත්තීය සේවාවන් තවම තියෙන්නේ ඩිප්ලෝමා තත්ත්වයේ වැටුප් තලයක. සෞඛ්‍ය ලේකම් ප්‍රමුඛ සමහර වෛද්‍ය පරිපාලකයන් තමන්ගේ හැන්දෙන් බෙදා ගැනීම නිසා සෞඛ්‍ය සේවාව තුල දීමනා පිළිබදව බරපතල විෂමතාවයක් තියනවා.

මේ ගැටළු විසදනතුරු අපිට අරගලය හැර වෙනත් විකල්පයක් නැහැ. වසංගතය වෙලාවේ අපි වගකීමෙන් කටයුතු කිරීම රජය නිවැරදිව තේරුම් අරගෙන නැති නිසා, අපි ඔවුන්ට තේරෙන භාෂාවෙන් ආමන්ත්‍රණය කරන්න තීරණය කරලා තිබෙන බව කුමුදේස් මහතා වැඩිදුරටත් පැවසීය.