අසභ්‍ය ප්‍රකාශන පනතත් බලරහිත කිරීමට යයි

ali-sabry

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම් පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි උපදෙස් ලබාදී ඇතැයි එහි ලේකම් එම්. එම්. පී. කේ. මයාදුන්නේ පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කර ඇත්තේ, 2021 දෙසැම්බර් මස 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දෙසැම්බර් 27 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙම ගැසට් නිවේදනය බල රහිත කිරීමටත් පසුව සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ය.

උක්ත නිතිය ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය උනන්දු වූයේ බාලවයස්කාර දරුවන්ගේ සුබ සිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නිති සකස් කිරීමට මිස භාෂණයේ නිදහට බාධා කිරීම නොවන බව ද එම නිවේදනයේ සදහන් වෙයි.

මෙම පනත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා උනන්දුවක් දක්වන විවධ පාර්ශ්වයන් විසින් පසුගිය කාලය තුළ කරුණු දක්වනු ලැබූ අතර, මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබදව විශේෂයෙන් සැලකිල්මත් විය යුතු බවද එම නිවේදනයෙන් දක්වා ඇත.

මෙම යෝජනා සැලැකිල්ලට ගනිමින් සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නිතීඥ සංගමය, අපරාධ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව හා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණඩලය වෙත යැවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබා දී ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අමාත්‍යංශ ලේකම් වෙත කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු මෙසේ සඳහන් කලේය.

(ද ලීඩර්)