පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා

ගොවි, කම්කරු රාජ්‍ය, පෞද්ගලික සියලු අංශවල  හැම කෙනෙක්ටම අද ආර්ථික වශයෙන් ප්‍රශ්න මතුවෙලා තියෙනවා .එම ආර්ථික අර්බුදය අපේ රටේ මහා භාණ්ඩාගාරයටත් බලපාල තියෙනවා. මේ ප්‍රශ්නයට කෙටි විකල්ප නැහැ. රටක් ජාතියක් හැටියට අපි මේ මුහුණ දී සිටින තත්ත්වයෙන් ගොඩ එන්න අපි හැම කෙනෙක්ටම මේ වෙලාවෙ දි ඉටුකරන්න විශේෂ කාර්යභාරයක් තියෙනවා.එම නිසා අපි නව ක්‍රමයකට අනුගතව ජීවත් වෙන්න පුරුදු විය යුතුයි.ඵලදායිතාව පිළිබඳ සංකල්පය මේ දුෂ්කර අවස්ථාවේ අපට ඊට ඇති හොඳම විසඳුමක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

2022 වසරේ කම්කරු අමාත්‍යංශයේ  රාජකාරි කටයුතු අරඹමින් අමාත්‍යංශයේ  පැවති ආගමික වතාවත්වලින් පසු පැවති සේවක හමුවේ දී අමාත්‍යවරයා මේ බව අද(3) පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා  කියා සිටියේ,මෙම තත්ත්වය දේශපාලන වශයෙන් විවේචනය කිරීම, එයින් දේශපාලන වාසි ගන්න සමහරු කටයුතු කිරීම විරුද්ධ පක්ෂයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත නිසා ඊට අපිට දොස් කිව නොහැකි බවය. නමුත්  අපි උත්සාහ කරන්නේ මෙම ජාතික  ප්‍රශ්නයට  දීර්ඝ කාලීන විසඳුමක් ලබා ගන්නයි.  

පෞද්ගලික  අංශයේ වැටුප් වැඩි කිරීම  පිළිබඳ වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව මේ වන විට වෘත්තීය සමිති, හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශය  සාකච්ඡා කරමින් පවතිනවා.

විගමණික සේවකයන් සඳහා රක්ෂණය  ලබාදීමේ කටයුතු අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරනවා.

අපේ රටේ කම්කරුවන්ට අදාල නීති රාමුව නූතන කාලයට ගැළපෙන පරිදි සකස් කිරීම දැන් සිදුකරනවා. නමුත් එයින් කම්කරුවන්ට කිසිම හානියක් වෙන්නේ ඉඩ දෙන්නේ නැහැ.

මෙම අාණ්ඩුව ඉවත් කර වෙනින් ආණ්ඩුවක් ආවා කියලා භාණ්ඩාගාරයට ඩොලර් ගලා එන්නේ නැහැ. ආණ්ඩුවට සල්ලි ලැබෙන්නෙත් නැහැ.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළ ජාතික වැඩපිළිවෙළක්  සකස් කර ක්‍රියාත්මක කිරීමට අපි ශක්තිය ලබා දිය යුතුයි.

මෙහි දී නාරහෙන්පිට  අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාවක්  සිදු කළහ.