උග්‍රවන ජීවන වියදම අඩු නොකොළොත් සටන් මගට බහිනවා - ඇන්ටන් මාර්කස්

anton-marcus

දිනෙන් දින ඉහල යන ජීවන වියදමට මුහුණදීම සඳහා නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් ඇතුළු පුද්ගලික අංශයේ සේවය කරන සියළු සේවකයින්ට ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් මෙම ආර්ථික පීඩනය තේරුම් ගනිමින් ආණ්ඩුව වහාම භාණ්ඩ හා සේවා මිල අඩුකළ යුතු බව ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික හා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සභාපති අන්ටන් මාර්කස් මහතා මාධ්‍ය හමුවක් අමතිමින් ප්‍රකාශ කර සිටියාය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම ජාවාරම්කාරයින්ට ඉඩලබාදීමත් සමග භාණ්ඩ මිල ඉහල යන බවත්, එම තත්ත්වය නිසා පුද්ගලික අංශයේ සේවකයින් හා අඩුආදායම්ලාභීන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

හාම්පුතුන් කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය පිටදමා වැටුප් වැඩිකිරීම මඟ හරිමින් සිටින අතර, ඒ සඳහා රජය තම වගකීමෙන් මිදී ඇති බවත්, මේ තත්ත්වය හමුවේ තම අයිතිවාසිකම් දිනා ගැනිම සඳහා ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති එක්වා සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීම අද දවසේ අත්‍යාවශ්‍ය කටයුත්තක් බව ඇන්ටන් මාර්කස් මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම  නිදහස් වෙළඳ කලාප වල සේවක සේවිකාවන් ඇතුළු පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට වහාම පියවර ගන්නා ලෙසත්, අඩුආදායම්ලාභීන්ට පිළිගතහැකි වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙසත් එසේ නොමැති වුවහොත් ඉදිරියේ ඇති වන සාගත තත්ත්වයත් සමග සටන් ක්‍රියාමාර්ග වලට එළෙඹෙන බවත් වැඩිදුරටත් පැවැසීය.