ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ ආයූර්වේද වෛද්‍යවරු වර්ජනයක සූදානම්

ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ ආයූර්වේද වෛද්‍යවරු වර්ජනයක සූදානම්
රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරී සංගමය විසින් 2022 ජනවාරි මස 24 වෙනි දින සිදුකිරීමට නියමිත සංකේත වැඩ වර්ජන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (21) උදෑසන 9.00ට පමණ බොරැල්ල කොටා පාර ආචාර්ය එන්.එම් කේන්ද්‍රයේදී පැවැත්විනි.
 

මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් වැඩිදුරටත් සඳහන් කළේ ආයුර්වේද වෛද්‍ය සේවාව දීපව්‍යාප්ත සේවාවක් වන අතර සේවා ව්‍යවස්ථාවක් මගින් රාජ්‍ය සේවය තුළ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දීම සිදුකරන බවයි.එහෙත් 6/2006 චක්‍රලේඛයට අනුව මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව උපදෙස් දී වසර 16ක් ගතවුවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා දේශීය වෛද්‍ය විෂය භාර අමාත්‍යාංශය අතර කඹ ඇඳීම නිසා වෛද්‍යවරුන්ට හිමි වරප්‍රසාද හා උසස්වීම් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කරගනිමින් වෛද්‍යවරුන්ට විශ්‍රාම යාමට සිදුව තිබෙන බවයි.මෙම කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ,ගරු අග්‍රාමාත්‍යවරයා,ගරු ජනාධිපතිවරයා ඇතුලු බලධාරීන් සහ පරිපාලනය දැනුවත් කලද නිසි පිළිතුරක් ලැබී නොමැති බවයි සංගමය මෙහිදී ප්‍රකාශ කළේ.

රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාව තුළ සිටින 2500කට අධික ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් විසින් වසර 02කට ආසන්න කාලයක් අවදානම නොසලකා කොවිඩ් ප්‍රතිකාර සේවාවල රාජකාරිවල නිරතවන නමුත් බටහිර සෞඛ්‍ය සේවාවේ හා ආයුර්වේද කාර්ය මණ්ඩලවල සිටි සියලුම කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් වලට අදාල දීමනා ලබා දුන්නද කිසිදු දීමනාවක් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට මේ දක්වා ලබා දී නොමැති බවත් මාධ්‍ය හමුවේදී සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය චමල්.ආර්.කුලතිලක මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමි දීමනා ලබා ගැනීම, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සෙවා ව්‍යවස්ථාව කුමන්ත්‍රණ කාරී ලෙස ව්‍යාකූල කිරීමට එරෙහිව දීපව්‍යාප්තව සේවයේ යෙදෙන රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් එළැඹෙන 24 වෙනි දින සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන බව මෙහිදී නිවේදන කළේය.

සිය ඉල්ලිම්වලට නිසි විසඳුමක් ලබා නොදුනහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවත් සංගමයේ ලේකම් වෛද්‍ය චමල්.ආර්.කුලතිකල මහතා සඳහන් කළේය.