ඇත්තටම මේ අපි සමරන්නේ කාගේ නිදහසක් ද?

ඇත්තටම මේ අපි සමරන්නේ කාගේ නිදහසක් ද?

74 වන නිදහස් උළෙලේ පෙර පුහුණුවීම් සඳහා, කොළඹ අහස ගුගුරවමින් මහා හඬින් එහා මෙහා යන ගුවන්යානා, හෙලිකොප්ටර් ධර්මසේන පතිරාජයන්ගේ "සොල්දාදු උන්නැහේ" චිත්‍රපටයේ ජවනිකාවක් මතක් කරනවා. එහි එන විලී මහත්තයා-ප්‍රේමා අක්කා හා සොල්දාදු උන්නැහේ අතර වන සංවාදයක මෙහෙම දෙබස්  ඛණ්ඩ ටිකක් තියෙනවා."සොල්දාදු උන්නැහේ : ආණ්ඩුව කියන්නෙ අපි තමයි
විලී මහත්තයා: තමුසෙ පරමාධිපත්‍යයි ආණ්ඩුවයි පටලවගෙන. ආණ්ඩුව කියන්නෙ අපි නෙමෙයි. පරමාධිපත්‍ය කියන්නෙවත් මොකද්ද කියලා තමුසෙ දන්නෙ නැහැ.
සොල්දාදු උන්නැහේ : පරමාධිපත්‍යය..?
විලී මහත්තයා:  පරමාධිපත්‍යය.... පරමාධිපත්‍යය....පරමාධිපත්‍යය කියන්නේ ආයුධ පාවිච්චි කරන මිනිස්සුයි ආයුධයි" (චිත්‍රපටයේ කොටසක් පළමු කොමෙන්ටුවේ)පතිරාජයන් 1981 දී "සොල්දාදු උන්නැහේ"ට මේ දෙබස් ලියන විටත්, අදත් වෙනසක් තියෙනවා ද? ඇත්තට ම අපි 'පරමාධිපත්‍ය' ගැනවත් අඩු ම තරමේ දැනුවත් ද? නමුත් අපිත් සොල්දාදු උන්නැහේ - ප්‍රේමා අක්කා වගේ කිසි ම තේරුමක් නැතුව නිදහස සැමරීම ගැන ආඩම්බර වෙනවා. එහෙම නැත්නම් දැනගෙනත් මොනා කරන්නද ඉතින්, කියල හිතාගෙන ඉන්නවා. ඇත්තටම මේ අපි සමරන්නේ කාගෙ නිදහසක් ද? අපි දේශපාලනිකව නිදහස් ද? අපි ආර්ථිකව නිදහස් ද? මේ ප්‍රශ්න ටික අන් කවර නිදහස් දිනයකටත් වඩා මෙවර අපෙන් ප්‍රශ්න කරන්න පුලුවන්.එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කරන්න සල්ලි නැතුව, රට පුරා වරින් වර ඉන්ධන පෝලිම් මතුවෙද්දි, දෛනික විදුලි නිෂ්පාදනය හරි හැටි නොවී දිනකට පැය කිහිපයක් විදුලිය කපන තත්ත්වයකට රට වැටී තියෙද්දිත්, රටේ මිනිස්සුන්ට දරාගන්න බැරි බඩු මිලකින් හිර කරලා තියෙද්දී, අහස් යානා, සාගර යාත්‍රා සහ පාබල රථ පෙරටු කොට ගනිමින් අසීමිත ධනස්කන්දයක් කාබාසිනයා කරමින් සමරන නිදහස අභිමානවත් එකක් කියලා කාට ද කියන්න පුලුවන්? අහසට හරි මුහුදට හරි වෙඩි තියලා, නේක රටා මවන පැරෂුට් උඩ යවලා, අව් කාෂ්ටකේ හමුදා වලට කියලා පෙළපාළි යවාගෙන, රණ කාමයේ යුධකාමයේ නටබුන් පොලිෂ් කරලා පාරදිගේ යන එක බලන්න ආස වීමම මේ කාලයේ අර්බුධයකි. වේදිකා මස්තකයේ සිට මේ දිහා බලන් ඉන්න පාලකයන්ට, මේ රටේ ජනතාවට යහපත් ජිවන තත්ත්වයක් ගැන සිතීමට පවා ඇති නිදහස අහිමි වුණු තත්ත්වය අදාළ නැති බව පෙනේ.   



අවිධිමත් අංශයේ කම්කරුවන් සම්බන්ධ තවත් පුවත් කියවන්න...

අවිධිමත් අංශයේ කම්කරුවන් ගැටළු කියන්න කම්කරු ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ගරු කටයුතු මහත්තුරුණි, අවිධිමත් අංශයේ කම්කරුවන් හට විධිමත් යාන්තරණයක් අවශ්‍යයි




එදිනෙදා දිවි ගැට ගසා ගන්නා අවිධිමත් අංශයේ කම්කරුවන් ඇතුළු බහුතරයක් කම්කරුවෝ තමන්ගේ දරුවන්ට හරියට කන්න දෙන්න බැරුව හෙට දවසේ ජීවත්වන්නේ කෙසේද කන්නේ කෙසේද හිතමින්  හූල්ලන පසුබිමක, හම්බ කරන සොච්චමෙන් ණය ටික ගෙව්වම කන්න හිඟා කන තත්ත්වෙට පත්වෙන තරමට පොඩි මිනිහාගේ ආර්ථිකය කඩා වැටී ඇත. ඒ විතරක් නොව, දහසක් කොන්දේසි වලට යටත්ව තෙල් මිලට ගන්න, ඩොලර් අර්බුදය පියවාගන්න ණයක් ගන්න, ඉන්දියාවෙයි චීනාගේයි පදේට කියන කියන විදිහට නටන්න වුණ තත්ත්වයක් උඩ, අඩුම තරමේ ජනාධිපතිවරයා විසින් නිදහස් දින සිය කතාවේ දී "අභිමානවත්" කියන වචනයවත් භාවිතා කරන්නේ කෙසේද යන්නම ගැටළු සහගතය.  

අපි කොහොමත් දන්නවා මේ අවුරුදු 74 පුරාවටම කම්කරුවා විඳපු නිදහසේ දිග පළල. මොකද වතුකම්කරුවන්ට ඡන්දබලය ලබා දෙන්න රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී විවාදයට ගැනුණා ම “ඉන්දියානුවන්ට විශාල රටක් තියෙනව … අපට තියෙන්නේ මේ කුඩා දිවයින පමණයි …මේ රට අපට ම තියා ගන්න ඕනෑ.”  කියලා කිව්වෙත්, දහසක් දෙනාගේ වැඳුම් ලබන ජාතියේ පියාමයි. යාන්තමට අයිතිවාසිකමක් කියන්න වතු කම්කරුවාට ඡන්ද බලය ලැබුණා මිසක, හරි හමන් නිදහසක් ඔවුන්ට ලැබුණාද කියන එක ප්‍රශ්නයක්. මොකද ඒ චන්ද ටික අරගෙන පාර්ලිමේන්තු යන වතුකරයේ බොහෝ ලොක්කෝ එම කම්කරුවන්ට නිදහසේ කැමති තැනක වාසය කිරීම, නිර්ධය ලෙස ශ්‍රම සූරාකෑමෙන් තොර රැකියාවක නිදහස පවා අහිමි කර ඇත.වතු කම්කරුවන් විතරක් නෙවෙයි. සමස්ත අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ තත්ත්වයේ මීට වඩා ලොකු වෙනසක් නැහැ. ඇතැම් සිද්ධීන් ගත් විට මේ රටේ මිනිස්සුන්ට ජිවත් වීමට පවා නිදහසක් නොමැති තත්ත්වයක් දැකිය හැකිය. සමහර මාධ්‍ය වේදීන්, තම අයිතිවාසිකම් ඉල්ලා සටන් කළ මිනිස්සු අදටත් තොරතුරක් නැති ලෙසම මේ අභිමානවත් නිදහස් භූමියේදී සොයා ගත නොහැකි ලෙසම අතුරුදන් වී ඇත.  


මේ සමස්ත චිත්‍රයෙන් ඉතා කුඩා කොටසක් පමණි. අනිත් පැත්තෙන්, මැති ඇමතිවරුන් රාජ්‍ය නායකයින් සහභාගි වන නිදහස් උත්සවය අවසානයේ එහි අවසාන බර පැටවෙන්නේ කාට ද? දැවැන්ත නිදහස් සැමරුම් සැණකෙලියක අවසානයේ නැවත අදාළ ස්ථාන යථා තත්ත්වයට පත් කිරීමේ පටන් එකී උත්සවයන් සඳහා වැය වූ මුදල් වක්‍රාකාරයෙන් පියවා ගන්නේ ද මෙරට කම්කරුවාගෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අතින් බැලුවාම කම්කරුවන්ට නිදහසක් කොයින් ද?


දහසක් ප්‍රශ්න මධ්‍යයේ රටක් ලෙස ලෙස අපි කරවටක් ගිලී ඇති බැව් මුළු ලොව ම දන්නා කරුණකි. එවන් තත්ත්වයක් තුළ "නැව ගිලුණත් බෑන්ඩ් චූන්" පන්නයේ නිදහසක් සැමරීම තුළින් පාලකයන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? යන්න සමාජය තුළින් පන නගිමින් පවතී.    මේ සැමරුම සාමාන්‍ය මිනිස්සුන්ට, මේ සමාජයට ඇති අවශ්‍යතාවය කුමක්ද?   ඇත්තටම මේ අපි සමරන්නේ කාගේ නිදහසක් ද?

 

-ප්‍රොටෙක්ට් සංගමය-