පොරොන්දු වූ පරිදි ගෘහස්ථ ශ්‍රමිකයන් සඳහා කම්කරු නීති සකස් කරන්නැයි   ප්‍රොටෙක්ට් සංගමය කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලයි !

පොරොන්දු වූ පරිදි ගෘහස්ථ ශ්‍රමිකයන් සඳහා කම්කරු නීති සකස් කරන්නැයි   ප්‍රොටෙක්ට් සංගමය කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලයි !

ගෘහස්ථ කම්කරුවන්ටත්, කම්කරු නීති ආවරණය සහ කම්කරු අයිතිවාසිකම් තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රොටෙක්ට් සංගමයේ හැටන්-ලක්ෂපාන සාමාජිකයින් විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් බාර දෙන ලදී. ඒ පසුගිය 26 වන දා හැටන් නගරයේ නව කම්කරු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට කම්කරු අමාත්‍යවරයා සහභාගී වූ අවස්ථාවේ දීය.

එම ලිපිය මගින් ප්‍රොටෙක්ට් සංගමයේ සාමාජිකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, පසුගිය වසරේ අගෝස්තු මස 10 වන දින කම්කරු අමාත්‍යංශයේ දී අමාත්‍යවරයා සහ ප්‍රොටෙක්ට් සංගමය ඇතුළු වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවේ දී ඉල්ලා සිටි පරිදි, ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීති සකස් කිරීම කඩිනම් කරන ලෙසත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C189 සම්මුතිය මෙරට තුළ අපරානුමත කර දෙන ලෙසත් ය.
 
එලෙස ම ගෘහස්ථ කම්කරුවන්ටත් පඩි පාලක සභාවක්, අවම වේතන, EPF/ ETF, අයවැය සහන දීමනා ඇතුළු කම්කරු අණ පනත්වලට ගෘහස්ථ කම්කරුවා ඇතුළත් කර ඔවුනට ද සුනිසි රැකියාවක හිමිකරුවෙකු වීමේ අයිතිවාසිකම තහවුරු කරන ලෙසයි. එම අවස්ථාවේදී සංගමයේ ඉල්ලීම්වලට අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාර වාචිකව ලැබුණත්, මේ වන විට එම පොරොන්දු වලට මාස 6ක් ගත වී ඇතත් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම සම්බන්ධව ප්‍රොටෙක්ට් සංගමය එම ලිපිය ඔස්සේ සිය කණස්සල්ල ප්‍රකාශ කොට තිබුණි.
 
නව කම්කරු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් සහ ලක්ෂපාන ශාඛාවල නායකයින් සමග සාකච්ඡාවක් පැවැත් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ වසර ඇතුළත අනිවාර්යයෙන් ම ගෘහස්ථ කම්කරුවන් වෙනුවෙන් පඩි පාලක සභාවක් ස්ථාපනය කරන බවයි. කම්කරු කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම රාධාක්‍රිෂ්ණන් , කම්කරු අමාත්‍යංශ ලේකම් එම්.පි.ඩි.යු.කේ.මාපා පතිරණ , කම්කරු කොමසාරිස් ජෙනරාල් බි.කේ. ප්‍රභාත් චන්ද්‍රකිර්ති යන මහත්වරුන් ද සහභාගි විය.
 

-ප්‍රොටෙක්ට් සංගමය-