ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට සමිති පෙරට එති !

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට සමිති පෙරට එති !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට ගෙදර යන්නැයි කියමින් රට පුරා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය 31 වන දින රාත්‍රියේ ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස වටලමින් ආරම්භ වූ මෙම විරෝධතාමාලාව පුරා සතියකට අධික කාලයක් අඛණ්ඩව සමස්ත රට පුරා ම ගම් නගර පාසා මහජන සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාත්මක වේ. මහජන විරෝධතාවක් ලෙස ආරම්භ වූ මෙම අරගලයට මේ වන විට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, වෘත්තිකයන්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ද සක්‍රීය ලෙස දායක වෙමින් වත්මන් ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල කරමින් සිටී. එහි දිගුවක් ලෙස වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව ඊයේ (07) දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට එක් රැස් වී වත්මන් ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් විරෝධතාවෙහි නිරත වූහ.
 
මේ විරෝධතාව සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවට අයත් වෘත්තීය සමිතිවල නායකයින් සහ සාමාජිකයින් විශාල පිරිසක් ඒකරාශි වී සිටියහ. මෙහි දී විරෝධතාවෙහි නිරත වූ පිරිස සටන් පාඨ කියමින් සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුවට බල කර සිටියේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුව වහාම ගෙදර යා යුතු බවත්, සියලු ම කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට වහා කටයුතු කරන ලෙසත්, ජනතාව පෙළන ගැටලුවලට වහා සහන සලසන ලෙසත්, IMF යනු උගුලක් මිසක් විසඳුමක් නොවන බවත් ය.
DSCF6177 
 
DSCF6190
 
මෙම විරෝධතාව සඳහා ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමය, ලංකා වතු සේවක සංගමය, ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, මොන්ලාර් සංවිධානය සහ ප්‍රොටෙක්ට් සංගමය ඇතුලු වෘත්තිය සමිති සහ බහු ජන සංවිධාන රැසක සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් රැස්ව සිටියහ.
 
එලෙස ම, මෙම ජන පීඩක ආණ්ඩුව වහා ගෙදර යවා වැඩ කරන ජනතාවට බලය ලබා ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු යැයි ද විරෝධතාකරුවෝ හඬ ගා කීය.
 
DSCF6230

 

DSCF6248

 

-ප්‍රොටෙක්ට් සංගමය-