ජාතික වෘත්තීය සමිති පෙරමුණ සහ බහුජන සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කළ මැයි දින යෝජනා 

ජාතික වෘත්තීය සමිති පෙරමුණ සහ බහුජන සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කළ මැයි දින යෝජනා 

1886 ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටේ වැඩ මුරය ඉල්ලා  සිදුකරන ලද අරගලයේදී දිවිදුන් විරෝධාර කම්කරු විරුවන් සිහිකරමින් ආරම්භ කරන ලද ලෝක කම්කරු දින සැමරුම අද ලෝකයේ බොහෝ රටවල් සටන්කාමී අරමුණු පෙරදැරිව සමරණු ලබයි. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවද සෑම වසරකම මැයි මස 01 දා විවිධ වූ අරමුණු හා අපේක්ෂාවන් පෙරදැරිව සමරනු ලබයි. මෙහිදී ලෝකයේ කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් කර  තම ජීවිත පවා පුද කරමින්  එකී අයිතීන් දිනා දීම වෙනුවෙන් දහදිය, ලේ කදුලු සමගින් ජිවිත පුද කළ  සියළුම විරුවන්ට අපගේ ගෞරවනීය වූ කෘතවේදිත්වය පල කරමු.  2022 මැයි දින සැමරුම පවත්වන මේ මොහොත දක්වා ශ්‍රි ලාංකික කම්කරු අයිතීන් දිනාගැනිමට ඉමහත් කැප කිරීම් කළ සියළුම ශ්‍රි ලාංකික කම්කරු නායකයින්ටද අපගේ හදවතින් නැගෙන කෘතවේදිත්වය මෙහිදී පල කරන්නෙමු.

2022 වර්ෂයේ ලෝක කම්කරු දිනය සමරන මෙම අවස්ථාව වන විට ශ්‍රි ලංකා පුරවැසියන් ලෙස අප ඉතා බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇත. මේ වන විට අප ආර්ථික වශයෙන් බංකොලොත් තත්වයට පත්ව ඇත. එපමනක් ද නොව රටේ කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත අංශය වැනි රටට ආදායම් ගෙනන බොහෝ අංශ මේ මොහොතවන විට බරපතල ලෙස බිදවැටී ඇත. ආහාර ද්‍රව්‍ය මෙන්ම ඉන්ධන, ගෑස්, විදුලිය, ඖෂධ ඇතුළු  මහජනතාවගේ දෛනික ජීවත්වීමට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය බරපතල ලෙස හිඟයක් පවතින අතර ඒ නිසාම රට තුල මෙකී භාණ්ඩවල මිල ගණන් නොසිතූ ලෙස ඉහල ගොස් ඇති අතරම ලෝකයේ ඉහලම උද්ධමනය ඇති රටවල් අතර තුන්වන ස්ථානයට පත්වීමට තරම් ප්‍රබල තත්ත්වයකට පත්වී ඇත.

රටට තුල පැවති විදේශ ඩොලර් සංචිත බරපතල ලෙස පහල වැටී ඇති අතර ඒ හේතුවෙන් විදේශ මිලදී ගැනීම් සිදුකිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත. මේ නිසා රටතුල බරපතල ආහාර හිඟයක් පවතින අතර මෙම හේතුවෙන් මහජනතාවට බොහෝ භාණ්ඩ මිලදී ගැනීම සදහා පෝලිම් කරා යාමට සිදුවී ඇති අතර මෙය මහජනතාවගේ දෛනික ජනජීවිතය බරපතල ලෙස බිද වැටීමකට ලක්වීමට තරම් ප්‍රබල කරුණක් වී ඇත.

මෙම සියළු කාරණා තුල මේ වන විට රටතුල දේශපාලන අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇත. ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් රට තුල උදාවීම මත විවිධ අංශයන් රජයට විරුද්ධව බරපතල ලෙස විරෝධය පෑමට ඉදිරිපත්ව ඇත. විශේෂයෙන් රටේ තරුණ කොටස් කිසිවෙකුගේ බලපෑමකින් තොරව ලොව කිසිදු රටක කිසිදිනක නොදකින ලද පරිදි ප්‍රචන්ඩත්වයෙන් තොර  නව ආරක දැවැන්ත විරෝධතාවයක් කොළඹ ගාලු මුවදොර ප්‍රධාන කොටගෙන දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම රටේ රාජ්‍ය පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශය අතුළු සමස්ථ වැඩකරන ජනතාව මෙන්ම ආගමික කොටස්, ගොවි, ධීවර, ඇතුළු රටේ බොහෝ අංශ නියෝජනය කරන ජනකොටස් මෙම විරෝධතාවයන්ට මේ වන විට එකතුවෙමින් පවතින අතර මෙම විරෝධතා හමුවේ රජයේ ක්‍රියාකාරිත්වය බරපතල ලෙස බිද වැටීමකට ලක්ව ඇත. එමෙන්ම පවතින මෙම විරෝධතා හමුවේ රජය තම සුපුරුදු මර්ධනකාරී ක්‍රමය ක්‍රියාත්මක කළ අතර මේ වනවිටත් එක් ජීවිතයක් පොලිස් වෙඩිපහර තුල රටට අහිමි වී ඇත.

මෙම සියළු කාරණා හමුවේ වැඩකරන පංතියේ අයිතීන් වෙනුවෙන් හඩ නගන ලෝක කම්කරු  දිනයේදී සමස්ථ රටේ පුරවැසියන්ගේම විමුක්තිය වෙනුවෙන් හඩ නැගීමට සිදුව ඇති බව අවධාරනය කරන අතර මේ වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සදහා රටතුල විසිර ඇති සියළු බලවේග ඒකරාශී කර එක්සත්ව එක්සිත්ව කටයුතු කළ යුතු බවට අවධාරණය කර සිටින්නෙමු.

පවතින මෙම තත්ත්වය තුල රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවට මෙන්ම සමස්ථ රටවැසියන්ටම බලපාන පහත ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙමු.

  • සමස්ථ රටවැසියන්ගේම දැඩි අප්‍රසාදයට ලක්ව ඇති ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමගින් වර්තමාන රජය ඉල්ලා අස්වනු.
  • නිශ්චිත කාළ සීමාවක් සදහා අන්තර් කාලින රජයක් පත් කිරීමට ඉඩ සලසනු.
  • ඉතා කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත්කර රටතුල නිර්මාණය වී ඇති බරපතල ගැටළු සදහා ක්ෂනිකව විසදුම් ලබා දීමට කටයුතු කර රටතුල දේශපාලන ස්ථාවරත්වය ඇති කරනු,
  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව තුලින් ක්‍රියාත්මක කරනු,
  • මහජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව දැරිය හැකි මිලකට ලබා ගැනීමට පහසුකම් සලසනු,
  • නිශ්චිත කාළ සීමාවක් තුල මහජන මතය තුල රජයක් පිහිටුවීමට හැකිවන පරිදි මැතිවරණයක් පවත්වනු,
  • දේශපාලකයින් විසින් වංචනික ලෙස රැස්කර ඇති ජාතික සම්පත් හදුනාගෙන ඒවා නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරනු,
  • ආයෝජන මුවාවෙන් රාජ්‍ය සම්පත් විකිනීම වහාම නවතනු,
  • ජීවන වියදම පහල හෙලනු,

ඉහත සදහන් ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට රජයට බලකර සිටින අතර මෙම තත්ත්වයන් දිනා ගැනීම සදහා රටේ කම්කරු පන්තිය සමගින් රටතුල ක්‍රියාත්මක බහුජන සංවිධාන, පුරවැසි බලවේගයන්ගේ සමස්ථ ප්‍රගතිශීලී කොටස් එක්ව සටන්වැදීම සිදුකළ යුතු බව අවධාරණය කරමු. මේ සදහා 2022.05.01 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවැත්වෙන ජාතික වෘත්තීය සමිති පෙරමුණ සහ බහුජන සංවිධාන එකමුතුවේ මැයි රැළයේදී මුළු මහත් ශ්‍රි ලංකික කම්කරු පන්තියට හා රටතුල ක්‍රියාත්මක බහුජන සංවිධාන, පුරවැසි බලවේගයන්ට මෙන්ම සමස්ථ ප්‍රගතිශීලී කොටස් සදහා ආරාධනා කරන්නෙමු.