ආදරයේ අරගලයට පහරදීමේ විමර්ෂණ අඩපණ කිරීම ගැන පොලිස්පතිට ලියයි

ආදරයේ අරගලයට පහරදීමේ විමර්ෂණ අඩපණ කිරීම ගැන පොලිස්පතිට ලියයි

ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමේ විමර්ශන අඩපණ කිරීම ගැන තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිට බාර දුන් සවිස්තරාත්මක ලිපිය.

එම ලිපිය සම්පූර්ණයෙන්ම පහතින් දැක්වේ.

2022.05.15

චන්දන වික්‍රමරත්න මහතා,

පොලිස්පති,

පොලිස් මූලස්ථානය,

කොළඹ.

පොලිස්පතිතුමනි,

ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීම ගැන විමර්ශන දේශපාලන පක්ෂපාතිත්වයක් සහිත නිලධාරීන්ට බාරදීම සහ සාක්කිකරුවන්ට බලපෑම් සිදුකිරීම වැළැක්වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙනි

1. ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතාකරුවන්ට සැලසුම් සහගතව පහරදීම සම්බන්ධ විමර්ශන ඔබ විසින් බාර දෙනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතාටය.

2. ඩබ්ලිව් තිලකරත්න යනු 2004 වසරේ සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටි නිලධාරියකු වන අතර ඔහු සහ මහින්ද රාජපක්ෂ අතර දැඩි හිතවත්කමක් තිබෙන බව මුලු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නා කරුණකි.

3. 2019 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉවත් කර එම තනතුරට ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ඔබ විසින් පත් කරනු ලැබුවේ ඩබ්ලිව් තිලකරත්න නිලධාරියා ය.

4. ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරනු ලැබීය. ඔහු යටතේ මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම බරපතල තත්ත්වයක් වන අතර එකී විමර්ශනය පිළිබදව මහජන විශ්වාසය පළුදුවීමට ඉහත කී පසුබිම ප්‍රමාණවත් ය.

5. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු ඔබ විසින් ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර, ආණ්ඩුවට හිතවත් මෙරිල් රංජන් ළමාහේවා (වැලිකඩ චූදිතගේ සහෝදරයා) වැනි නිලධාරීන් පත් කරනු ලැබීය. එවැනි නිලධාරීන් යටතේ මෙම විමර්ශනය සිදු කිරීම "හොරාගේ අම්මාගෙන් පේන ඇසීම" වැනි ක්‍රියාවක් වන අතර අනාගතයේදී චූදිතයන් නිදහස් වන ආකාරයට විමර්ශන කිරීම සඳහා මෙම විමර්ශනය ඔවුන් වෙත පවරනු ලැබුවේදැයි බරපතල සැකයක් පවතී.

6. එවැනි තත්වයක් තුළ ඔබ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිදවැටීම මගින් නීතිය පිළබදවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබදවත් විශ්වාසය බිදවැටීමට ඉඩ ඇති බව ඔබට පෙන්වාදීමට කැමැත්තෙමු.

7. තවද, මෙම විමර්ශනවල ප්‍රධානම සැකකරුවකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් එම තනතුරේම කටයුතු කිරීමද බරපතල තත්ත්වයකි. ඔහුට එරෙහිව සාක්කි දීමට සිටින කොළඹ පොලිස් නිලධාරීහු මේ සම්බන්ධයෙන් බියට පත්වී සිටිති. තමන් සත්‍ය තොරතුරු අනාවරණය කළහොත් තමන්ගේ ප්‍රධානියා වන දේශබන්දු තෙන්නකෝන්ගෙන් බලපෑම් එල්ලවෙතියි ඔවුහු බියට පත්වී සිටිති.

8. ඔහු යටතේ තිබෙන පොලිසිවලට මේවන විටත් ඔහු සැකකරුවකු කරමින් පැමිණිලි ගොනුවී තිබේ. (කොටුව පොලිසිය CIB ii 18/67)

9. මෙම සිදුවීමට පොලිස්පති ලෙස ඔබද සෘජුවම වගකිවයුතු බවට සඳහන් පැමිණිල්ලක් ද මේ වන විට ඔබ යටතේම ඇති ටෙල් අයිජීපී ඒකකයට සහ කොටුව පොලිසියට යොමු කර තිබේ. (කොටුව පොලිසිය CIB ii 18/67)

10. ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදුන් මැර පිරිසට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස ඔබ එදින උදෑසන උපදෙස් දුන් බවට පොලිස් නිලධාරීන් සටහන් පවා දමා ඇති තත්ත්වයක, තවදුරටත් ඔබ පොලිස්පති තනතුරේ සිටීම බරපතල තත්ත්වයකි. එමගින් සෘජුවම විමර්ශනවලට බාධා සිදුවිය හැකි අතර සාක්කිකරුවන්ටද බලපෑම් එල්ල විය හැකිය.

11. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දේශපාලනඥන් විසින් ලබාදුන් ලිපිවලට පොලිස් ස්ථානාධිපතිකම් ලබාදිම සිදු විය. ඒබව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන අපසතුව ඇත. ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමෙන් පසු දිවයින පුරා සිදුවූ සිදුවීම් විමර්ශනය කරීමට ඔබ විසින් උපදෙස් දී ඇත්තේ අදාල පොලිසිවලටමය. දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය අනුව පත් කළ ස්ථානාධිපතිවරුන් මෙම විමර්ශන නිසි ආකාරව සිදු කරනු ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය.

12. කරුණු මෙසේ හෙයින් ඉහත කී මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබදව අපට පිළිගත හැකි ස්වාධීනබවක්, විනිවිදභාවයක් සහ/හෝ විශ්වාසයක් නොමැත.

13. කරුණු මෙසේ හෙයින් පහත සඳහන් ඉල්ලීම් කඩිනමින් ඉටු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

I. වහාම මෙම විමර්ශන දේශපාලන පක්ෂපාතකම් නැති ස්වාධීන, දක්ෂ විමර්ශන කණ්ඩායමකට බාර දෙන්න.

II. පළමු ප්‍රහාරයෙන් පසු දිවයිනේ සෑම තැනම සිදුවූ සිදුවීම්වල අපරාධ වගකීම පළමු සිදුවීමේ සැකකරුවන්ට ඇති බැවින් එම විමර්ශන ද ඉහත විමර්ශන කණ්ඩායමටම ලබා දෙන්න.

III. විමර්ශනවලට බාධාවීම වැලැක්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් දේශබන්දු තෙන්නකෝන් කඩිනමින් ඉවත් කර ඔහුගේ වැඩතහනම් කරන්න.

IV. ඔබ පොලිස්පති ධුරයේ සිටියදී ඔබ යටතේ සිටින නිලධාරීන්ට ඔබට එරෙහිව විමර්ශන කිරීම ගැටලුසහගත බැවින් කඩිනමින් තනතුරෙන් ඉවත්වී විමර්ශනවලට සහාය දක්වන්න.

V. තවද මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීමෙන් පසු ජනතාව කුපිත කිරීම් හරහා සිදුවූ යම් යම් සිද්ධි පදනම් කරගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් රාජ්‍ය මර්දනයක ස්වභාවයකින් දියත් වන බැවින් ඒ තත්ත්වය වහාම පාලනය කරන ලෙස අපි දන්වා සිටිමු.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

තරුණ නීතීඥ සංගමය (YLA)

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (YJA)