වෙළඳ කළාපවල අයෝජකයින් අතහැර යනවා - අත්‍යාවශ්‍ය සේවා කඩිනම් කරන්න

වෙළඳ කළාපවල අයෝජකයින් අතහැර යනවා - අත්‍යාවශ්‍ය සේවා කඩිනම් කරන්න

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් රට වෙනුවෙන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය, භූමිතෙල්, ගෑස් හා ඖෂධ සපයා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත්,  බොහෝ ආයෝජකයින් ආයෝජන කලාප හැර යමින් සිටින මෙවන් වකවානුවකදී ඊට මැදිහත් වෙමින් ඒ පිළිබදව සොයා බැලීම ඒම ආයෝජකයින් මෙන්ම සේවකයින් දිරිගැනිවීමට සෘජුවම දායක වනු ඇති බව මානව විමුක්තිය උදෙසා සංවර්ධනය (RED), සවිස්ත්‍රී ජාතික ව්‍යාපාරය විසින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා වෙත් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

 . 

කොමසාරිස් ජනරාල් තුමනි,

වර්තමානයේ රටෙහි පවතින ආර්ථික සමාජයීය වාතාවරණය යටතේ ඔබගේ ආගමනය සමග ඇති වූ විපරිවර්තන වෙනස අප මැනවින් අධ්‍යනය කරමින් සිටින අතර ඒ පිළිබඳව අප ඉතා සතුටු වන්නෙමු. ඔබගේ මැදිහත්වීම තුළින් අත්‍යවශ්‍ය සේවා සැපයීම විධිමත් හා ක්‍රමානුකූලව සිදු වෙමින් පවතින බව අපි අධ්‍යනය කළ හෙයින් අපගේ පහත ඉල්ලීම මබතුමන් වෙත ඉදිරිපත් කිරීමට අපි උත්සුක වෙමු. 

ශ්‍රී ලංකාවාසි කාන්තාව  මුහුණ දෙන ආහාර අයිතියක් නොමැතිකම සහ එම අයිතිය නොමැතිකම හේතුවෙන් පත්ව සිටින පීඩාකාරී තත්ත්වයන්ට සහන ලබා ගැනීමේ අරමුණින් දිස්ත්‍රික්ක අටකින් ලබාගත් අත්සන් 10,0000ක පෙත්සම අපි පසුගිය 13/03/22 දින  එවකට සමුපකාර අමාත්‍යවරයා වෙත  භාර දුන්නෙමු. නමුත් මේ වන විට ඒම ධූරය හිස් බැවින් අප අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා වන ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ නිදහස් වෙළඳ කලාප කාන්තා සංවිධානයක් ලෙස අප නියෝජනය කරන, එමෙන්ම මේ වන විට රටේ පවතින සමාජ දේශපාලන ආර්ථික තත්ත්වයන්ගෙන් බැට කන නිදහස් වෙළඳ කලාප කම්කරුවන් උදෙසා අප විසින් ඉල්ලා සිටිනු ලබන පහත ඉල්ලීම් ලබා දෙන ලෙසයි.

1.  නිදහස් වෙළඳ කලාප වල රාත්‍රී කාලය වනතුරුත් සේවය කරන සේවකයන්ට සහන මිලට බඩු ලබාගත හැකි සිල්ලර වෙළඳසැල් නිදහස් වෙළඳ කලාප පරිශ්‍රය තුළම ආරම්භ කර දෙන ලෙසත්. එම වෙළඳ සැල් තුළම ගෑස් සහ භූමිතෙල් මිල දී ගත හැකි තත්ත්වයක් ද ඇති කර දෙන මෙන්ද,

2.  එසේම නිදහස් වෙළඳ කලාප අවට පාමසි කරුවන් සේවකයන්ගෙන් අසාමාන්‍ය ලෙස බෙහෙත් ද්‍රව්‍ය සඳහා මිල ගණන් ලබා ගන්නා බැවින් රාජ්‍ය ඔසුසැල ශාඛාවක් කටුනායක, බියගම සහ වතුපිටිවල නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව ආරම්භ කර දෙන ලෙසද,

3.  කටුනායක නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිතව  විශාල සේවක පිරිසක්  නේවාසිකව සිටින සහ ගම්වාසීන් පදිංචිව සිටින ඇවරිවත්ත ප්‍රදේශයේ භූගත ජලය පානයට නුසුදුසු බැවින් අඩුම තරමින් නේවාසික හිමියන්ට ගෙවීමේ ක්‍රමයට හෝ නළ ජලය ලබා දෙන ලෙසත්ය.

කොමසාරිස්තුමනි, අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් 36000 පමණ කම්කරුවන් රට වෙනුවෙන් කැපවී රටට විදේශ විනිමය උපයමින් සිටින බැවින් ඔවුන්  වෙනුවෙන් ඉහත කාරණා සියල්ල හෝ හැකි පමණ ඉටුකර දෙන මෙන්ය. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත බොහෝ ආයෝජකයින් ආයෝජන කලාප හැර යමින් සිටින මෙවන් වකවානුවකදී ඔබතුමන් ඊට මැදිහත් වෙමින් ඒ පිළිබදව සොයා බැලීම ඒම ආයෝජකයින් මෙන්ම සේවකයින් දිරිගැනිවීමට සෘජුවම දායක වනු ඇත.