විධිමත් දේශපාලන යාන්ත්‍රණයක් ගොඩනැගීමට “මහජන සභාව“ පිහිටුවයි

විධිමත් දේශපාලන යාන්ත්‍රණයක් ගොඩනැගීමට “මහජන සභාව“ පිහිටුවයි

රටට අවශ්‍ය ක්‍රමයක් සහ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරමින්, සියලූම ආගමික නායකයින්, වෘත්තීය සමිති, සිවිල් හා බහුජන සංවිධාන, විද්වතුන් ඇතුළු  පුද්ගල චරිත ඉස්මතුකර ගැනීමකට එහා ගිය විධිමත් පාලන යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහ “මහජන සභාව“ මඟින්  “ජන දුක අවම කරමින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රවේශයක්“ ලියවිල්ල සමාජගත කිරීමේ හමුවක් 2022. මැයි 21 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.

එම ප්‍රකාශනය පහතින් දැක්වේ.

ජන දුක අවම කරමින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රවේශයක්

අද අප රට පෙර නොවී විරූ අර්බුදයක ගිලෙමින් පවතියි. බඩු මිල දරා ගත නොහැකි ලෙස ඉහල යමින් පවතී. රාජ්‍ය දත්ත (CCPI දර්ශකය) අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 2022 අප්‍රේල් මාසයේ ආහාර මිල උද්ධමනය 46.6% දක්වා වැඩිවී තිබේ. වැඩි මිලට හෝ ලබාගත් ආහාර ද්‍රව්‍ය පිස ගැනීමට ගෑස් හොයාගැනීම දුෂ්කරය, දෙගුණයකට වඩා මිලය. දිනපතා කෙරෙන විදුලි කප්පාදු නිසා ජන ජීවිතය අවුල් වී ඇත. විදුලිය පදනම් කරගත් සුළු සහ මහා ව්‍යාපාර අමාරුවේ වැටී ඇත. ෂෙඩ් ළඟ පෝලිම් රට පුරා දකින්නට ඇත. බෙහෙත් හිඟය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතී. පෝලිම්වල මිනිසුන් මියැදෙති. අසාධාරණයනට විරුද්ධව හඬ නගන මිනිස්සු පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙති. මේ පිළිබඳව ත්‍රෛනිකායික මහනායකවරුන් 2022 අප්‍රේල් මස 20 දාතම සහිත සංදේශය මගින් තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

සිදු කරන සියලු දේ වරද්දා ගෙන ආණ්ඩුව විසින් ප්‍රශ්න තවත් උග්‍ර කරන ලදි. එයට උදාහරණ එමටය. සියයට සියයක් කාබනික කෘෂිකර්මයේ යෙදෙන ලෝකයේ පළමු රට බවට පත් වීමේ කතාවක් කියා පොහොර ආනයනය තහනම් කළද, අවසානයේ රටට සිදු වුයේ භාවිතා කළ නොහැකි ආනයනික පොහොර සඳහා ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්නටය; අති විශාල මුදලක් ආනයික ආහාර සඳහා ගෙවීමටය; දශක ගණනාවක් තිස්සේ අමාරුවෙන් ගොඩ නගා ගත් ස්‌වයංපෝෂිතබව නැති කර ගන්නටය.  කෘතිම විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීමට කල උත්සාහය හේතුවෙන් විදේශයන්හී වැඩ කරන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන සම්ප්‍රේශණයන්ද අඩු කරගෙන ඇත.

ආර්ථිකයෙන් පටන් ගත් අර්බුදය මුළුමහත් දේශපාලන ව්‍යුහය සහ සමාජය වෙලා ගෙන ඇත. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇරඹුනු විරෝධතා තරුණ පරම්පරාවේ බලාපොරොත්තු විනාශ කර දැමීමේ වගකීම දක්වා පුළුල් වී ඇත. සක්‍රිය පුරවැසියන් නිර්මාණය වී ඇත. ගාලු මුවදොර ප්‍රමුඛව අලුත් පන්නයේ විමධ්‍යගත අරගල භූමි නිර්මාණය වී ඇත. ජනාධිපතිවරයා යම් වැරදි පිළිගත්තද, ඒවායේ වගකීම භාරගැනීමට කටයුතු කරන බවක් නොපෙනේ. තමන්ගේ තනි අභිමතය මත පත් කර ගන්නා ලද නිලධාරීන් හානිය සිදුවුණු පසු ඉවත්කිරීම ප්‍රමාණවත් නොවේ. අරගල කරුවන් ඉල්ලා සිටින ආකාරයට එමෙන්ම සදාචාරාත්මකව ජනාධිපතිවරයා කල යුත්තේ ඉල්ලා අස් වීමය. එම වැරදි තීරණ අනුමත කල අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයද වගකීම භාර ගත යුතුය.

දැනට ඉල්ලා අස් නොවී සිටින අග්‍රාමාත්‍යවරයාද ඉල්ලා අස් විය යුතුය. එසේ නොකරන්නේ නම් 2022 අප්‍රේල් මස 4දා ත්‍රෛනිකායික මහානායකවරුන්ගේ සංදේශයේ ප්‍රථම යෝජනාව අනුව කටයුතු කරමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතුය.

ජනාධිපති තුමා සහ රාජපක්ෂවරුන් දේශපාලන කරලියෙන් ඉවත්වීම සක්‍රිය පුරවැසියන්ගේ ප්‍රධාන ඉල්ලීම් බවට පත්වී ඇත. ජනමත සමීක්ෂණ මගින්ද මෙය සනාත කෙරේ. රට මෙම අගාධයට ඇද දැමු දේශපාලන ක්‍රමයට විකල්පයන් ජනතාව ඉල්ලා සිටී. නමුත්, රට සුවපත් කිරීමේ කාර්යයට නායකත්වය දීමට සහ රාජපක්ෂවරුන් ගෙන් තොර ආණ්ඩුවක් සාදා ගැනීමට පාර්ලි‌‌මේන්තුව අසමත් වී ඇත. මෙතුලින් සාමකාමී සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල ක්‍රමවේදයන් ගැන ජනතා විශ්වාසය පලුදු වීමේ අවදානමක් මතු විය හැක.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය ප්‍රමාදවී පටන් ගත් නිසා, ඉදිරි මාස කිහිපය තුල අත්‍යවශ්‍ය සැපයුම් පවත්වා ගැනීම සඳහා අන්තර්කාලීන මුල්‍ය ප්‍රතිපාදන (bridge financing) ඉක්මනින් සකසා නොගත හොත් ජන ජීවිත අදටත් වඩා දුෂ්කර වනු ඇත. මෙයද ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැක තත්ත්වයන් නිර්මාණය කිරීමේ අවදානම ඇති කරයි. අප්‍රේල් 20දා යවන ලද ත්‍රෛනිකායික මහනායක සංදේශයේ සඳහන් කල ලෙස කැබිනට්ටුවේ පුද්ගලයින් මාරු කිරීමෙන් එය කල නොහැකි බව දැන් ඔප්පු වී හමාරය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය 2022 අප්‍රේල් 23දා නිකුත් කල යෝජනා මාලාව සහ ත්‍රෛනිකායික සංදේශයන්ගේ හරය අතර සෑහෙන ප්‍රමාණයක සම්පාත වීමක් (විශේෂයෙන් අන්තර්කාලීන පාලනයක් ගැන සහ 20 වන සංශෝධනය ගැන දක්වන ලද අදහස් සම්බන්ධයෙන්) දක්නට ලැබේ. නීතිඥ සංගමය කියන පරිදි අද අවශ්‍යව ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇතුළු අවම පොදු වැඩ පිළිවෙලක් මත පදනම්වූ අන්තර් කාලීන ආණ්ඩුවකි. මෙය අපට අන්තර්කාලීන මුල්‍ය ප්‍රතිපාදන ඇතුළු සහන දිය හැකි ජාත්‍යන්තර පාර්ශවයන්ගේද අපේක්ෂාව විය හැකැයි උපකල්පනය කල හැක. ජනතාවගේ විශ්වාසය දිනා ගත හැකි, එමෙන්ම අර්බුදයෙන් ගොඩ ඒමට ගතයුතු පියවර ගැන හොඳින් සන්නිවේදනය කල හැකි නායකත්වයක් නොමැතිව මෙය සාර්ථක කර ගත නොහැක. රට තුල මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති ජනාධිපති වරයෙකු සහ අගමැතිවරයෙකු නොමැතිව ජන දුක අවම කර අර්බුදයෙන් ගොඩ ඒමට මගක් නැත.

20වන සංශෝධනය මගින් විධායකය සර්ව බලධාරී කර ව්‍යවස්ථාදායකය බල රහිත කර තිබූ නිසා, එය නිශේධ කිරීමට 21වන සංශෝධනයක් කඩිනමින් අනුමත කර ගැනීමේ අවශ්‍යතාවය අප්‍රේල් 20 නිකුත් කරන ලද ත්‍රෛනිකායික සන්දේශයේද අවධාරණය කර තිබුණි.  එම බල සංකේන්ද්‍රණය සියලු පක්ෂවල නියෝජනය සහිත අන්තර්කාලීන පාලනයකට අවහිරයක් බවද පෙනේ. එසඳහා පසු ගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරනු ලැබූ නමුත් මොනයම් හෝ හේතුවක් නිසා එම ක්‍රියාදාමය කඩාකප්පල් කරනු ලැබීය. කමිටු පිහිටුවා කල් මැරීම විසඳුමක් නොවන නිසා, දැන් කල යුතු වන්නේ නීතිඥ සංගමය මගින් නිර්දේශ කර ඇති ආකාරයට දහතුන් වැදෑරුම් වැඩ පිළිවෙලක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමයි. ප්‍රමාදය සහ කල් මැරීම ජන දුක උත්සන්න කිරීමට හේතු වන නිසා මෙම සියලු පියවරයන් නිශ්චිත කාල ඉලක්කවලට යටත්ව සම්පූර්ණ කල යුතුය.

වඩා සවිස්තරව නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සංක්ෂිප්ත ලෙස වෙනස් කිරීමකින් තොරව පහත ඉදිරිපත් කරනු ලැබේ. එම  යෝජනාවනට කල යුතු යයි අදහස් කෙරෙන සුළු සංශෝධනයන් සහ වැඩිදියුණු කිරීම් යෝජනාවලියට පහත ඡෙදයන්හී සඳහන් කර ඇත.

  1. සිදු කරනු ලබන සියලු දෑ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කල යුතුය.
  2. අප්‍රමාදව 20වන සංශෝධනය අහෝසි කරන 21වන සංශෝධනය ඉදිරිපත් කල යුතුය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව අඩු නොකිරීමට වග බලා ගත යුතුය.
  3. මහ බැංකු අධිපති සහ මුල්‍ය මණ්ඩල සාමාජිකයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මගින් පත්කිරීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව කිරීම ආදී එකතු කිරීම් කිහිපයක්ද 21වන සංශෝධනයට යෝජනා කෙරේ.
  4. 21වන සංශෝධනය බලාත්මක කල වහාම සියලු ලේකම්වරුන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අන් සියලු ස්වාධීන කොමිෂන් සභාවන්ගේ සාමාජිකයන් අලුතින් පත් කල යුතුය.
  5. ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් භාර නොදිය යුතුය.
  6. හැකි ඉක්මනින්, උපරිම වශයෙන් මාස 15ක් ඇතුලත, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලි‌‌මේන්තුවට වග කියන අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් කේන්ද්‍ර කරගත් ක්‍රමයක් ස්ථාපිත කළ යුතුය.
  7. අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්කාලීන ජාතික සමගි ආණ්ඩුවක් වහා පිහිට විය යුතුය. පිළිගත් දේශපාලන පක්ෂ අතර ආර්ථිකය සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන මැදුම් සම්මුතියක් ගොඩ නැගිය හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත යුතුය. එවන් පුද්ගලයෙකු පාර්ලි‌‌මේන්තුව තුල නොමැති නම් ජාතික ලැයිස්තුව මගින් පත්කරන ලද මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලා අස්වීම හරහා පරිබාහිර අයෙකු පත් කර ගත යුතුය.
  8. අදාළ නිර්දේශපාලනික වෘත්තීයවේදී, වාණිජ සහ සිවිල් සංවිධානයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් අන්තර් කාලීන ආණ්ඩුව ඒ ඒ අමාත්‍යාංශවල විෂයයන්ට අනුරූප වන සුදුසුකම් ඇති 15 දෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන උපදේශක මණ්ඩලයක් පත් කර ගත යුතුය. සියලු තීන්දු තීරණ පාරදෘශ්‍යව ඔවුන්ගේ සහභාගිත්වයෙන් ගත යුතුය.
  9. දේශපාලන පලිගැනීම් සම්බන්ධව පත් කල විශේෂ ජනාධිපති කොමිෂන් සභාව (2021 ජනවාරි 29 දිනැති ගැසට් අංක 2212/53) අහෝසි කර, ඊට අදාළ 2020 ජනවාරි 9 දිනැති ගැසට් ලේඛනය මගින් පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මත පදනම්ව ක්‍රියා කිරීමෙන් වැළකිය යුතුය.
  10. අසරණතම ජන කොටස් කෙරේ විශේෂ අවධානයක් යොමු කරමින් රට ගොඩ ගැනීමේ අවම පොදු වැඩ පිළිවෙලක් ඉහත සඳහන් උපදේශක මණ්ඩලය සහ කැබිනට් මණ්ඩලය ආරම්භයේදීම අනුමත කර ගෙන ක්‍රියාත්මක කල යුතුය. එහි ඇතුලත් කල යුතු උපාංග 12ක් උදාහරණ වශයෙන් සඳහන් කර ඇත. මෙහි ප්‍රමුඛතම වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට කරන කටයුතු විධිමත්ව කරගෙන යෑම සහ අන්තර්කාලීන මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා පවත්වාගෙන යෑමයි. දූෂණයට සහ රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහි නෛතික ක්‍රමවේදයන්ද මෙහි අඩංගු වේ. වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නෛතික වෙනස්කම්ද ඇතුලත් වේ. සුදුස්සන්ට ඉඩ සැලසෙන අයුරින් ජනතාවගේ නියෝජිතයන් පත් කර ගැනීමේ මැතිවරණ ක්‍රමවේදයන් සකස් කර ගැනීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.
  11. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අවම පොදු වැඩ පිළිවෙලෙහි අනිවාර්ය අංගයක් විය යුතුය.
  12. අවම පොදු වැඩ පිළිවෙල මත පදනම්ව අලුත් අයවැයක් සකස් කල යුතුය.
  13. ජාතික සමගි ආණ්ඩුවේ ආයු කාලය මාස 18කට සීමාවේ. මාස 18ට පසුව පාර්ලි‌‌මේන්තුව විසුරුවා හරිනු ලබන අතර, මැතිවරණය පවත්වන තෙක් සති 6ක් භාරකාර ආණ්ඩුවක් ලෙස ක්‍රියා කල හැක.

රටේත්, දේශපාලන පක්ෂවල හා තරුණ කණ්ඩායම් වල බහුතර මතයත්, සමීක්ෂණ වලින් ලැබෙන තොරතුරුත් හේතුවෙන් විධායක ජනාධිපති පදවිය අහෝසි නොකර සිටිය හැකි තත්ත්වයක් දැන් උද්ගත වී ඇත. මේ කරුණු අපගේ අවධානයට ලක්විය යුතුය. විශේෂයෙන් රටේ ඒකීය බවට සහ මධ්‍යම සහ පළාත් ආණ්ඩු අතර සමතුලිතතාවයට වන බලපෑම් සහ මැතිවරණ ක්‍රමයේ අන්තර් සම්බන්ධතාවයද පූර්ණ වශයෙන් සලකා බලා එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය යුතුය. දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් මගින් සිදුකෙරෙන මැතිවරණ වියදම් සීමාකිරීමට, එම වියදම්වලට අදාළ ගිණුම් නිශ්චිත කාලයක් ඇතුලත ඉදිරිපත්කිරීමේ විධිවිධාන සකස් කිරීමට, සහ එම උපමානයන් උල්ලංඝනය කරන අයවලුන්ට ආසන අහිමි කිරීම දක්වා වන දණ්ඩනයන් නියම කිරීමට නෛතික ප්‍රතිපාදන අනුමත කල යුතුය. නුසුදුසු අපේක්ෂකයන් පිළිබඳව ක්‍රියාකිරීමට එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපල අවභාවිතා කිරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන වලින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව සන්නද්ධ කල යුතුය.

ජාතික උපදේශක මණ්ඩලය පත් කර ගැනීමේ ක්‍රමවේදය යම් ඝර්ෂනයන්ට සහ ප්‍රමාදයන්ට තුඩු දිය හැකි නිසා අවම පොදු වැඩ පිළිවෙලෙහි මූලිකාංග වලට එකඟවන උපදේශකයන් ඒ ඒ අමාත්‍යවරුන්ගේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය විසින් පළමු දෙසතිය තුල පත් කල යුතුය. මූලික ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න නිසා, වඩා පුළුල් ආර්ථික විසඳුම් මාලාවක් අවම පොදු වැඩ පිළිවෙලට එක් කර එය වඩා ශක්තිමත් කල යුතුය. එමෙන්ම එහි මූලිකාංග කලින් කෙටුම්පත් කර අග්‍රාමාත්‍ය වරයා ගේ අනුමැතිය ලබා ගත පසු එම ලියවිල්ල මත පදනම්ව අමාත්‍ය වරුන් සහ උපදේශක වරුන් පත් කල යුතුය. එම මූලිකාංග විස්තීරණය කිරීම උපදේශක මණ්ඩලයේ කාර්යය විය යුතුය.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛව පැවති කැබිනට් මණ්ඩලය මගින් රටට කරන ලද හානිය පිලිබඳ වගකීම භාර ගනිමින් සහ අරගලභූමියේ ඉල්ලීමට අවනත වෙමින් ඉල්ලා අස්වීම ඒ අයගේ සදාචාරාත්මක වගකීම වේ. විශේෂයෙන් සාමකාමී අරගලභූමියට පහරදීම තුලින් රටපුරා ඇරඹුණු ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධ වගකීම හිටපු අග්‍රාමාත්‍යවරයාට පැවරිය හැකි වුවුද, එම සිද්ධීන් වලක්වා ගැනීමට පියවර නොගැනීම සහ එම අපරාධ රැල්ල පාලනය කර ගැනීමට අසමත් වීම සම්බන්ධ වගකීම් වලින් නිදහස් වීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට නොහැක. ඔහුවුන් එසේ ස්වේච්ඡාවෙන් ඉවත්වන්නේ නැතිනම් ඉහත විස්තර කර ඇති ආකාරයට ආර්ථිකය සහ සමාජය සුවපත් කිරීමට පියවර ගත යුතුය. විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ නිර්දේශ අතුරින්, ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කල හැකි ආකාරයේ යෝජනා මාලාවක් ලෙස නීතිඥ සංගමයේ යෝජනාවලිය හඳුනාගත හැක. ඉහත දක්වා ඇති සුළු දියුණු කිරීම් කිහිපයක් සහිතව එම යෝජනාවලිය අප්‍රමාදව ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කරනු ලැබේ.