මහාපරිමාණ ණය - බොල් ණය ලෙස කපා හැරීමට ඉඩදෙන්නේ නෑ - ලංකා බැංකු සේවක සංගමය

cbeu

රටේ සංවර්ධනය වෙනුවෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහ කර්මාන්තකරුවන් වෙත විශාල ප්‍රමාණයේ ණය පහසුකම් ලබාදිය යුතු වුවත්, එසේ ලබාදෙන්නේ රටේ සාමාන්‍ය ගනුදෙනුකරුවන් විසින් බැංකුවල තැන්පත් කෙරෙන මුදල් වන අතර, ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් පිළිබඳ වගකීමෙන් මිදීමට බැංකුවලට නොහැකි බවත් ඔවුන් වෙත වැඩි පොලී මත පහසුකම් සැලසීමට නම්, ගෙවීම් පැහැර හැර ඇති මහා පරිමාණ ණය මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම අතිශයින් වැදගත් වන අතර,  එසේම එම ණය බොල් ණය ලෙස කපා හැරිමට කටයුතු කෙරේ නම් අප එයට එරෙහිව ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවන බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

රට තුළ පැන නැගී ඇති දරුණු දේශපාලන, ආර්ථික හා සමාජයීය අර්බුදය හමුවේ අනිකුත් සියලු සමාජ සංස්ථාවන් මෙන්ම බැංකු පද්ධතිය ද දැඩි මර්දනයකට හසුවි තිබේ. රටේ ආර්ථිකයේ මර්මස්ථානය වන  බැංකු පද්ධතිය එලෙස පීඩනයකට ලක්වීමේ අනර්ථකාරී බව අප සියලු වගකිවයුතු  පාර්ශව වෙත දිගින් දිගටම පෙන්වා දී ඇත. නමුත් ඒ සඳහා බලයේ සිටින පාර්ශව විසින් ගන්නා ලද පියවර පිළිබඳව අපට කිසිසේත් සෑහීමකට පත්විය නොහැක. එබැවින් රටේ ජනමතය විසින් ඉල්ලා සිටින දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ වහා සිදු කරමින් ඒ හරහා බැංකු පද්ධතිය ද සුරක්‍ෂිත කළ යුතුය යන ස්ථාවරය අප දරන අතර ඒ සඳහා අඛණ්ඩව පෙනී සිටිමු.

මේ අතර පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (cope) විසින් ලංකා බැංකුව හා මහජන බැංකුවට අදාළව සිදුකරන ලද විමර්ශනවල දී අවධානයට ලක්වූ නොගෙවා පැහැර හරින ලද මහා පරිමාණ ණය පිළිබඳව මාධ්‍ය, සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජනතාව අතර ද කතා බහක් ජනිතව ඇත. නිරන්තරයෙන් බැංකු පද්ධතියේ සුරක්‍ෂිතභාවය මෙන්ම පොදුජන යහපත වෙනුවෙන් ද පෙනී සිටින සංගමයක් ලෙස මේ පිළිබඳව නිවැරදි තත්වයන් පැහැදිලි කිරිම අපගේ වගකීමක් කොට සලකමු. මෙහිදී ප්‍රස්තුත ණය නොගෙවා පැහැර හැරීම තුළ අක්‍රමික ගණයට පත්ව ඇත.

රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇති මහා පරිමාණ ව්‍යාපාරික ණය මුදල් බොල් ණය ලෙස කපා හැරීමට මෙතෙක් බැංකු විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, එම ණය මුදල් අයකර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවත් පළමුව සඳහන් කරමු. ගෙවීම් පැහැර හැර ඇති මෙවැනි මහා පරිමාණ ණය මුදල් සමහරක්  ලබාගෙන ඇත්තේ කුමන පාර්ශවයකින් හෝ දේශපාලන හිතවත්කම් සහ ලබැඳියාවන් මත වුව ද මේවායින් බොහොමයක් පිළිගත් බැංකු නිතිරිති මත ප්‍රදානයකර ඇත.

රටේ සංවර්ධනය වෙනුවෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහ කර්මාන්තකරුවන් වෙත විශාල ප්‍රමාණයේ ණය පහසුකම් ලබාදිය යුතු වුවත්, එසේ ලබාදෙන්නේ රටේ සාමාන්‍ය ගනුදෙනුකරුවන් විසින් බැංකුවල තැන්පත් කෙරෙන මුදල් වේ. එබැවින් එම ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් පිළිබඳ වගකීමෙන් මිදීමට බැංකුවලට නොහැකිය. ඔවුන් වෙත වැඩි පොලී මත පහසුකම් සැලසීමට නම්, ගෙවීම් පැහැර හැර ඇති මහා පරිමාණ ණය මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ. එසේම එම ණය බොල් ණය ලෙස කපා හැරිමට කටයුතු කෙරේ නම් අප එයට එරෙහිව ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවෙමු.

එබැවින් විශේෂයෙන් රාජ්‍ය බැංකු පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලංකා බැංකු සේවක සංගමය ඉහත සඳහන් පරිදි ගෙවීම් පැහැරහැර ඇති ණය අය කිරීමට දැනට ද වඩා දැඩි නීතිරීති සම්පාදනය කළයුතු බව අවධාරණය කරන අතර ඒවා කපා හැරීමට කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව විමසිල්ලෙන් පසුවන අතර එයට ඉඩනොදී බැංකු පාලනාධිකාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමග මේ පිළිබඳව තොරතුරු හුවමාරුකර ගනිමින් ඉතාමත් සැලකිල්ලෙන් සහ අවධානයෙන් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කරමු.

එසේම ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක විසින් වර්ෂාවසානයේ දී බදු හා ලාභාංශ ලෙස බිලියන ගණනක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙමින් රටේ ආර්ථිකයට සිය දායකත්වය නොඅඩුව දෙනු ලබයි. නමුත් පසුගිය කාලසීමාව තුළ ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වැටුප් ගෙවීම් වැනි දේ සඳහා සීමාවන් ඉක්මවා රජය වෙත ණය සැපයීම තුළ රාජ්‍ය බැංකු මත මේ වනවිට එල්ල වී ඇති පීඩනය පිළිබඳව වහා දැඩි පිළියම් යෙදිය යුතු බව ද අපි අවධාරණය කරමු. එසේම රාජ්‍ය බැංකු තවදුරටත් ගනුදෙනුකාර ජනතාව වෙනුවෙන් සුරක්‍ෂිතව පවතින අතර එම සුරක්‍ෂිත බව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අප අවංකව කැපවෙන බව ද, රටේ සමස්ත ජනතාව වෙත අවධාරණයකර සිටිමු.