ආර්ථික අර්බුදය හේතුවෙන් ආදායම් අහිමිවූ හා හැමදා දුප්පතුන් ලෙස ඉන්නා ජනතාවට වහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන සළාක සමග ආර්ථිකය පිළිසකර කරන සැළසුම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කළ යුතු අතර, ඒ සඳහා සමාජ ව්‍යාපාරයක ගොඩනගා වෘත්තීය සමිති, ගොවි හා ධීවර සංවිධාන, වෘත්තිකයින්ගේ සමිති සම්මේලන, වාණිජ මණ්ඩල සහ අවිධිමත් ආර්ථිකයේ නියෝජනයක්ද එකතු කරන්නාවූ ජාතික සම්මේලනයක් කැඳවීමට වහා ක්‍රියාකාරී පියවරක් ගන්නා ලෙස ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2022 ජුලි 22 වන දින අළුයම පොලීසිය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යසාධන බලකායත් යුධ හමුදාවත් ජනාධිපති ලේකම් කාර්යාලීය ප්‍රවේශය මුළුමනින් අවහිර කරමින් විරෝධතාවන්හි නිරතව සිටි පිරිස් ඉවත් කරනු ලැබී යැයි වාර්තා කෙරිණ.
විරෝධතාකරුවන් එසේ ඉවත් කිරීමේදී සන්නද්ධ බලකායන් විසින් යෙදූ බලය අනවශ්‍ය බලයක් පමණක් නොව, ඉතා ප්‍රචණ්ඩ මර්දනකාරී බලයක් වූයේ යැයිද වාර්තා ඇත. විරෝධතාකරුවන් ඉවත් කිරීමේ අළුයම මෙහෙයුමෙන් තුවාල ලැබූ විරෝධතාකරුවන් 30 ට වැඩි සංඛ්‍යාවක් ගාලු මුවදොර විරෝධතා කලාපයට කොටුකර ඇතැයිද ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ කඩ ලබා නොදෙන්නේ යැයිද අරගලකරුවන්ගේ පාර්ශව ප්‍රකාශකර තිබිණ.
ගාලු මුවදොර විරෝධතා කලාපයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට යන එන මාර්ග සියල්ලම වසා තබා මේ ප්‍රචණ්ඩ මර්දනය දියත් කළේ යැයිද, විරෝධතාවයේ නිරත පිරිස් වෙනුවෙන් මැදිහත්වීමේ අයිතිය මත එහි යෑමට උත්සාහ කළ නීතිඥයින් ඇතුළු පිරිස් වලටද මෘග ලෙස පහර දුන්නේ යැයිද ඡායාරූප හා චලන ඡායාපට සමගින් සැළකිය යුතු වාර්තා ප්‍රමාණයක් එදිනම සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය.
මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳව තම නොසතුට පල කරන්නට පසුගිය 22 වන දින ඇමෙරිකානු තානාපතිනි ජුලි චං ජනාධිපති වික්‍රමසිංහ හමුවූ බැව් ඇයගේ ට්විටර් සටහනකින් කියා තිබිණ. එවගේම ජනාධිපති වික්‍රමසිංහ කළ ආරාධනාවක් මත ඔහු හමුවූ තවත් විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකුද ඔවුන්ගේ නොසතුට ජනාධිපති හමුවේ ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා තිබිණ.
මෙවැනි මෘග ප්‍රචණ්ඩ බලයක් විරෝධතාකරුවන්ට එරෙහිව කවර හේතුවක් මත හෝ යෙදවීමට, ව්‍යවස්ථාපිත ආණ්ඩුවකට අයිතියක් නැති බැව් අපි තරයේ කියන්නෙමු. ගාලු මුවදොර “ගෝටාගෝහෝම්” විරෝධය පසුගිය අප්‍රේල් 09 වන දින ආරම්භ කළ විට එය මෙරට නාගරික තාරුණ්‍යයේ යම් විනයක් සංවරයක් සමගින් සාමකාමීව ක්‍රියාත්මක වූවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු මහජන දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම දක්වා ඒ විරෝධතාව පරිවර්තනය වූයේ මතු විරෝධතා වෙනුවෙන් සැළකිය යුතු ප්‍රචණ්ඩත්වයක් තම ශක්තිය ලෙස ප්‍රදර්ශනය කරමින් බැව් අපිදු දනිමු. නිදහස් වෙළඳ කලාපයන්හි සේවක සේවිකාවන් දීප ව්‍යාප්ත වැඩ වර්ජන සඳහා හවුල්කර ගැනීමට ඒවායේ ක්‍රියාකාරීන් බලහත්කාරය යොදා ගත් ආකාරයද අපි හොඳාකාරව දනිමු.
එනමුත් විරෝධතාකරුවන්ගේ ඒ බලහත්කාරී ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව එවැනිම හෝ ඊටත් වඩා බලහත්කාරී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ප්‍රති උත්තර ලෙස මුදා හරින්නට රජයේ සන්නද්ධ ආරක්ෂක අංශ වලට අවසර දීමට ආණ්ඩුවකට අයිතියක් යුතු කමක් නොමැති බැව් අපි කියමු. ආණ්ඩුවක් යනු ශීලාචාර සමාජයක පාලන බලය ලබා ගත්තකි. ආණ්ඩුව හැසිරිය යුත්තේ නීතිමය සීමාවන් ඇතුළත විනයක් ඇතිවය. එසේ නොවන විට සමාජය මත ලිහා දැමෙන අරාජිකත්වය ගැන මීට පෙරද අපි අනතුරු ඇඟවීමු.
එහි ප්‍රතිපලයක් වන අවිනිශ්චිත, අවසන් නොවන අස්ථාවරත්වයක ඇඟවීම් හේතුවෙන් විදේශ ආයෝජන මෙරටට නොලැබී යාමේ සහ විශේෂයෙන් අපනයන සඳහා ඉදිරියේදී ඇඟළුම් නිෂ්පාදන ඇණවුම් නොලැබී යාමේ බරපතල අවදානමක් දැනටම ඇත. ඒ සමග විදේශ විනිමය ආදායම් අහිමි වීම මෙන්ම, සිය දහස් ගණනින් රැකියා අහිමිවීම් පිළිබඳ අනතුරු ඇඟවීමටද අපට සිදුව ඇත.
එවැනි වටපිටාවක වරින් වර ආණ්ඩු මාරු කරන්නට රාජ්‍ය බලය හා ගැටීමෙන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දරුණු ජීවන අරගලයට මේ මොහොතේ විසඳුම් ලැබෙන්නේ නැත. පසුගිය තෙමසක පමණ කාලයේ අගමැති හා ජනපති ඉවත් කිරීමේ විරෝධතාවන්ට දහස් ගණනින් ජනතාව හවුල් වූයේ ඔවුන්ගේ ජීවත්වීමේ අරගලයට වහා විසඳුම් ලැබේ යැයි ඔවුන්ට දුන් පොරොන්දු වෙනුවෙනි. එහෙත් මාස ගණනක් එවැනි විසඳුම් අහලකවත් නොමැතිව ආර්ථික අහේනියකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුව ඇත. දෛනික විදුලි කප්පාදු සමග පොදු මගී ප්‍රවාහනයද අවුල්ව ඇති විටෙක පාසල් අධ්‍යාපනය වසර දෙකකට වැඩි කලක් අඩාලව තිබෙන, ඉන්ධන හා ගෑස් පෝලිම්වල දහස් ගණන් කල් ගෙවන, රෝගීනට අවශ්‍ය ඖෂධ නොමැතිව ජීවන අපේක්ෂා හැර දමන, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ සහ සීඝ්‍රයෙන් ඉහළ යන භාණ්ඩ මිල හමුවේ පවුල් පිටින් බඩගින්නේ ඉන්නා මේ සමාජයේ හෙම්බත්වූ බහුතර ජනතාවට අද වහා අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ජීවිත සඳහා සහනදායි ආර්ථික විසඳුම් ය.
ඒ වෙනුවෙන් අප යෝජනා කරන්නේ මේ ආර්ථික අර්බුදය හේතුවෙන් ආදායම් අහිමිවූ හා හැමදා දුප්පතුන් ලෙස ඉන්නා ජනතාවට වහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන සළාක සමග ආර්ථිකය පිළිසකර කරන සැළසුම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කළ යුතු යැයි කියා ය. ඒ සඳහා වන සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව අපි දකිමු. ඒ වෙනුවෙන් වෘත්තීය සමිති, ගොවි හා ධීවර සංවිධාන, වෘත්තිකයින්ගේ සමිති සම්මේලන, වාණිජ මණ්ඩල සහ අවිධිමත් ආර්ථිකයේ නියෝජනයක්ද එකතු කරන්නාවූ ජාතික සම්මේලනයක් කැඳවීමට වහා ක්‍රියාකාරී පියවර ගත යුතු යැයි අපි කියමු.