හෙද නිලධාරින්ගේ අවධානය පිණිසයි

හෙද නිලධාරින්ගේ අවධානය පිණිසයි

සියලුම හෙද නිලධාරීන් අතර කාලීනව මේ දිනවල ජනප්‍රියම මාතෘකාව වන්නේ හෙද නිලධාරිනියක ලෙසට හෝ caregiver කෙනෙකු වශයෙන් විදෙස්ගත වීමේ බලාපොරොත්තුවයි.

ඉතා විශාල වශයෙන් ජාත්‍යන්තරව හෙදියට ලැබී ඇති අධික ඉල්ලුම සහ ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කර ආර්ථික තත්වය හමුවේ පීඩාවට පත් වී සිටින හෙද නිලධාරීන් සියලුම දෙනා එක පයින් විදෙස්ගත වීමට බොහෝ වෙහෙසක් ගනු ලබන බව පෙනේ.

රජයේ හෙද නිලධාරීන් ඉතා ඉක්මනින් විදෙස්ගත කරන මුවාවෙන් බොරදියේ මාලු බාන්නට බොහෝ පිරිසක් මාන බලමින් සිටින බව ද බවද මා මේ  අවස්ථාවේ ඉතා පැහැදිලිවම සඳහන් කළ යුතුමයි.

හෙද නිලධාරියකු ලෙස හෝ caregiver කෙනෙකු ලෙසට විදෙස්ගත වීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඔබ අවශ්‍ය සියළු සුදුසුකම් සියලු සුදුසුකම් සපුරා ලීම අත්‍යවශ්‍යය.මෙහිදී ඩිප්ලෝමා හෝ Degree දැනට බොහෝ හෙද නිලධාරීන් සතු සුදුසුකමක් වුවද ජාත්‍යන්තරය ජයගැනීමට අවශ්‍ය මීළඟ සාධකය වන්නේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයයි.මෙහිදී IELTS / UKVI හෝ OET සමත් වී තිබීම අනිවාර්ය වේ.

නමුත් සමහර ජාවාරම්කාර හොර ඒජන්සි විසින් සිදු කරනු ලබන්නේ හෙදියන් කබලෙන් ලිපට තල්ලු කර දැමීමයි. එනම් ඔවුන් ප්‍රධාන සාධකය ඉංග්‍රීසි ප්‍රවීණතා සහතිකය ලබා ගැනීමටත් පෙර හෙදියන්ට අපුරු සිහින මවා පෙන්වා ලක්ශ 4ත් 12ත් අතර මුදලක් නැවත ලබානොදෙන ගිවිසුම් ප්‍රකාරව ලබා ගැනීමයි.එලෙස ඔවුන් සිදුකරනු ලබන්නේ OET හෝ IELTS ඉතා පහසුවෙන් ජය ගත හැකි බවත් ඒ සදහා ඔවුන් මගපන්වන බවත් පවසමින් සිහිනයන් මවා පෙන්වමින්ය.

නමුත් කිසිවෙකුටත් නොකියා හොර රහසේ මෙවැනි වංචා කාර ඉතා ප්‍රසිද්ධ නම් ඇති ඒජන්සිවලට තමා ඉතා දුක් මහන්සියෙන් උපයා සපයා ගත් සාධාරණ මුදල් දී අද කම්පනයට ලක් වී ඇති හෙද නිලධාරීන් පිළිබඳව මා ඉතා පෞද්ගලිකව හොඳින් දනිමි.

ඔබ අනිවාර්යෙන් සිහි තබාගත යුතු එකම එකම කාරණය නම් පළමුවෙන් විදෙස්ගත වීමට සිහින මවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්නා ලෙසට එනම් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අදාල විභාග සමත් වීමෙන් පසුව පමණක් ඉතා විශ්වාසවන්ත ක්‍රමයක් හරහා පමණක් උත්සාහ දරන ලෙසටය.

මන්ද ඒජන්සි වලින් මුදල් ලබා ගත් පසු පවසන්නේ ඔබ විභාගය සමත් නම් පමණක් රට යවන බවය.ඔවුන් මුලදී සුරංගනාකතා කොපමණ කීවත් අවසානයේදී ඇත්ත මෙයයි.අවශ්‍ය සුදුසුකම් නොමැති නම් හොර ඒජන්සි වලට මුදල් ලබාදී ලක්ෂ ගණන් මුදල් විනාශ වී කර කියාගත නොහැකි ලෙස අසරණභාවයට පත්වූ හෙද නිලධාරීන් ගෙන් තවත් එකකු බවට ඔබ පත් විය හැකිය.

බොහෝ ඒජන්සි වලින් මුදල් ලබා ගැනීමේදී ඔවුන් පවසා සිටිනුයේ ඔවුන් OET හෝ IELTS සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන බවයි.නමුත් ඔවුන් යම් බොරුවක් කර දැන් විභාගය ලියා පාස් වෙන ලෙසටත් එය කළ නොහැකි නම් එය ඔවුන්ගේ වරදක් නොවන බවත් පවසාවි.නමුත් ඔවුන් දෙන ඉතා සුළු පැය විසි හතරක් වැනි දැනුමෙන් අතිවිශිෂ්ට ඉංග්‍රීසි දැනුමක් ඇති අයකුටද එම විභාග සමත් වීමට එම දැනුම ප්‍රමාණවත් නොවේ.තමන් සාධාරණ උපයාගත් මුදල් ජාවාරම් කරුවන්ට ලබා දීමට පෙර සිය දහස් වාරයක් ඒ පිළිබඳව සොයා බලන ලෙස ආදරණීය සහෘද ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

මන්ද ජාවාරම්කාර වංචනික ඒජන්සි කලඑළි බහින කාලයයි මේ.ඔබ ඔවුන්ගේ තවත් එක් ගොදුරක් නොවන්න.

| එම්. කේ. සන්ධ්‍යා නිල්මිණී, හෙද නිලධාරිණී, මහමෝදර  ශික්ෂණ රෝහල (fb පිටුවෙන්)