“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යටතේ රඳවා ඇති සියල්ලන් වහා නිදහස් කළ යුතුය

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යටතේ රඳවා ඇති සියල්ලන් වහා නිදහස් කළ යුතුය

රටේ ත්‍රස්තවාදයක් නොමැති දේශපාලන පසුබිමක “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යටතේ මේ දිනවල කෙරෙන අත්අඩංගුවට ගැනීම් නීතිය අවභාවිතාවේ යෙදවීමක් යැයි අපි තරයේ විශ්වාස කරමු. එනිසා එසේ අත් අඩංගුවට ගනු ලැබූ සියලු දෙනා වහා නිදහස් කළ යුතු යැයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, පැය 72 ක් රඳවා තබා ගැනීමේ නියෝග මත සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ සමග තවත් දෙදෙනකු සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර ගෙන ඇතැය ද ඔවුන් ආණඩු විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධදැයි පරීක්ෂා කරන මෙන් පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි ද ඊයේ (අගෝස්තු 21 වන දින) පොලිස් ප්‍රකාශක මාධ්‍යයට කියා තිබිණ.

ආණ්ඩු විරෝධයට “කුමන්ත්‍රණ” යැයි කියූ පමණින් එය දඬුවම් කළ හැකි වරදක් නොවන්නේ ආණ්ඩු මාරු කිරීමේ අයිතිය ජනතාව සතු පරම අයිතියක් වන බැවින් ය. පවතින නීති අනුව වරදක් වන්නේ “රාජ්‍ය විරෝධී” කුමන්ත්‍රණ පමණි. දේශපාලන නායකයින් හා මාධ්‍ය ඇතුලු බොහෝ අය “ආණ්ඩු” වෙනුවෙන් “රජය” යැයි නොදැනුවත්ව භාවිත කළ පමණින් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ “රාජ්‍ය විරෝධී” කුමන්ත්‍රණ ඝණයේ ලා සැළකිය නොහැකිය. 

අත් අඩංගුවට ගෙන ඇති අය ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු අය යැයි ද ඔවුන් විසින් සාමය කඩ කර ඇතැයි ද සහ ඒ වන විට ඔවුන්ට එරෙහිව පනවා තිබූ අධිකරණ නියෝග උල්ලංඝණය කර ඇතැයි වැනි චෝදනා තිබේ නම්, ඒ සම්බන්ධව නීති ප්‍රකාරව කටයුතු කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය නැත. ඒ වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යොදා ගත හැකි යැයි අපි දනිමු.

එවැනි තත්ත්වයක් හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන මෙන් ආණ්ඩුවට බල කිරීම සඳහා දකුණේ සිංහල - බෞද්ධ සමාජය ද ඉදිරිපත් විය යුතු යැයි අප නැවත නැවතත් කියන අතර, මානව හිමිකම් සංවිධාන විසින් හා ජාත්‍යන්තර සංවිධාන විසින් ද මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නට දිගින් දිගටම ආණ්ඩු වලට බලපෑම් කෙරෙන පසුබිමක ආරක්ෂ අංශ ද එම පනත භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි අපි අවධාරණය කරමු.