රජයේ රැකියා ජාවාරම පිළිබඳ තවත් තොරතුරු හෙලිවෙයි

රජයේ රැකියා ජාවාරම පිළිබඳ තවත් තොරතුරු හෙලිවෙයි
තරුණ තරුණියන්ගෙන් කෝටි ගණන් මුදල් ගෙන ඔන්ලයින් හරහා රාජ්‍ය සේවා හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ යටතේ එකී අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන ව්‍යාජව යොදා රජයේ රැකියා සඳහා පත්වීම් ලිපි දීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
 
රැකියා විරහිත අයවලුන් රැකියාගත කිරීමේ වැඩසටහන 2021 යටතේ ඔන්ලයින් ක්‍රමයට තරුණ තරුණියන් ලියාපදිංචි කොට සැකකරු විසින් දෙන ගිණුම් අංකයකට ලක්ෂ ගණනින් මුදල් බැර කරගෙන මේ පත්වීම් ලිපි දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.
 
රාජ්‍ය සේවා හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ මහජන දිනය දා මෙසේ පත්වීම් ලිපි රැගෙන තරුණ තරුණියන් 14 දෙනකු පැමිණි බවත්, එම ලිපි ව්‍යාජ ඒවා බවට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ල අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.
 
රාජ්‍ය සේවා හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් පී.ජේ.ජේ. රත්නසිරි මහතා විසින් තම අමාත්‍යාංශයේ මහජන දිනය දා තරුණ තරුණියන් 14 දෙනකු සිය අත්සන ව්‍යාජව හා නිල මුද්‍රාව ව්‍යාජව යෙදූ පත්වීම් ලිපි රැගෙන පැමිණි බවත්, ඔවුන් ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කර ඇති බවටත් පැමිණිලි කරමින් සඳහන් කර ඇත. 
 
මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් සුමන ආලෝක බණ්ඩාර යන අයගේ ප්‍රකාශයක් ගත් බවත්, 2021/3/19 දිනෙන් පසු (PS/GT/2020-1) කිසිදු පත්වීම් ලිපියක් බැහැර වී නැති බවත්, 2021/12/8 දිනැති නිකුත් කළ මේ පත්වීම් ලිපි ප්‍රශ්නගත බවට ප්‍රකාශ දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය. 
 
මෙසේ රජයේ බැංකුවක රැකියාවක් සඳහා පැමිණි තරුණියකගේ ප්‍රකාශ අනුව ඇය විසින් මුදල් තැන්පත් කළ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දෙන ලෙසට පෞද්ගලික බැංකු සමාන්‍යාධිකාරිවරුන් වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය. 
 
අදාළ බැංකු දෙකකට මෙසේ අධිකරණය නියෝග නිකුත් කරනු ලැබුවේ 1979 අංක 15 යටතේ 124 වගන්තියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.
 
මේ වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400,454 හා 459 යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.