වෛද්‍ය චමල් සංජීවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වෛද්‍ය චමල් සංජීවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන තිබෙන තීරණය තුළින් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව, ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (22) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
 
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව සිය වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව එමඟින්  සිහිපත් කර ඇත.
 
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් අය කර දෙන ලෙස ද වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇත.
 
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙකු එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ. 
 
තමන්ව නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය විදේශීය පුහුණුව අඛණ්ඩව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.