2022 වසරේ ගතවූ මාස අටට ළමා හිංසන පැමිණිලි 7,500ක්

2022 වසරේ ගතවූ මාස අටට ළමා හිංසන පැමිණිලි 7,500ක්
2022 වසරේ ගත වූ මාස අට තුලදී ළමා හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 7568 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩි පැමිණිලි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ දරුවන්ට පහරදීම්, ලිංගික හිංසන, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම් මෙන්ම යාචක වෘත්තියේ යෙදවීම ඇතුළු පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
 
එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, මහනුවර, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කවලින් ළමයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් ද දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
 
ළමා හිංසනයන් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.
 
මේ අතර, දරුවන් 8721 ක් පමණ මෙරට පරිවාසභාරයේ සිටින බව සඳහන්.
 

එමෙන්ම අධිකරණය හරහා ළමා නිවාස වෙත භාර දෙන දරුවන් ප්‍රවාහනය කිරීමේදී ගැටලු සහගත තත්ත්වයක් පවතින අතර ඊට විසඳුමක් තවමත් අපේක්ෂාවෙන් සිටින බවයි සමස්ත ලංකා පරිවාස නිලධාරින්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.