ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලැබීම් ගණනය කරන තෙක් විදුලිය ගාස්තු වැඩිකිරීම් අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විදුලිය ගාස්තු නැවත වැඩි කිරීම සඳහා යෝජනාව (ජනවාරි 02) දින පැවැත්වෙන ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ඇමතිවරයා ඉකුත් සතියේ මාධ්‍යයට කියා තිබුණි. ආර්ථික අර්බුදයට හසුව ඒ සඳහා සාධාරණ විසඳුම් නොමැතිව අතිශය අසීරු ජීවිත ගත කරන ජනතාවකට එය මාස 06 ක් ඇතුළත කෙරෙන දෙවන ගාස්තු වැඩි කිරීම වන බැවින් මෙම යෝජිත විදුලි බිල වැඩි කිරීම පිළිබඳව පහත දැක්වෙන කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමට අප සංගමය තීරණය කළ බව දන්වා සිටිනු කැමැත්තෙමු.
මෙම යෝජිත වැඩිවීම සියයට 65 ක් පමණ වන්නේ යැයි ද, එසේ වැඩි කිරීමට නොහැක්කේ නම්, මේ වසරේ දෛනික විදුලිය කප්පාදුව පැය 08 ක් පමණවීම වැළකිය නොහැකි බව ද ඇමතිවරයා කියා තිබුණේ ජනතාවට කෙරෙන තර්ජනයක ස්වරයෙනි. ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) පාඩු ලබන්නේ ජනතාවගේ වරදින් යැයි කියන්නාක් මෙනි.
ඒ සමග ඇමතිවරයා විදුලිබල මණ්ඩලයේ වැටුප් ගෙවීමේ විස්තර ලෙස පසුගිය සැප්තැම්බර, ඔක්තෝම්බර හා නොවැම්බර මාසවල වැටුප් ලේඛනයක් ඔහුගේ “ට්විට” ගිණුමෙන් ප්‍රසිද්ධකර තිබුණි. එම විස්තර අනතුරුව ප්‍රධාන මාධ්‍ය මගින් ද වාර්තාකර තිබිණ. ලංවිම පාඩු පියවා ගැනීමට විදුලිය ගාස්තු වැඩි කිරීමේ ඔහුගේ යෝජනා පාරදෘශ්‍යභාවයක් ඇතිව කෙරෙන්නේ යැයි සාධාරණය කිරීමක් වශයෙන් එය ප්‍රසිද්ධ කෙරුවක් විය යුතුය. එය අසම්පූර්ණ මෙන්ම සවිස්තර වැටුප් ලේඛනයක් නොවන බැව්ද පළමු කියවීමෙන්ම දැකිය හැකිය. ලංවිම වැටුප් ගෙවීම් සතු පරස්පර, විෂමතා සහ ඒවායේ යටිපෙළ ඇති දූෂණ ඉන් වසන් කිරීමට නොහැකිව ඇත.
ඔබගේ පහසුව වෙනුවෙන් ඇමතිවරයා එසේ ප්‍රසිද්ධකර ඇති පසුගිය මාස 03 හි ලංවිම වැටුප් ලේඛනයේ පිටපතක් මේ සමග යොමු කරන අතර එහි ඇති ප්‍රශ්නගත කාරණා හා විෂමතා සැකෙවින් පහතින් සටහන් කරන්නෙමු.
මේ තෙමසක විස්තරයක් පමණි. එබැවින් එවැනි කාරණා පිළිබඳ සාධාරණ ප්‍රසිද්ධ කරුණු පැහැදිලි කිරීමකින් තොරව, විදුලිය ගාස්තු වැඩි නොකරන්නේ නම් දෛනික විදුලි කාප්පාදුව පැය 08 ක් කිරීමට සිදුවන්නේ යැයි කීමට ඇමතිවරයාට කිසිදු සදාචාරමය අයිතියක් නැත.
එවගේම එම කරුණු පැහැදිලි කිරීමෙන් පාරිභෝගිකයින්ට සහ වෘත්තීය සමිති සඳහා ලංවිම පාඩු පියවීමේ විසඳුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලැබෙන හෙයින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන විදුලිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාව එතෙක් අනුමත නොකරන මෙන්ද, ඒ වෙනුවට ඉහත කාරණා පැහැදිලි කරන මෙන් ඇමතිවරයාට ඇමති මණ්ඩල තීන්දුවක් ලබා දෙන මෙන්ද අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු.
