පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් හා දීමනා ගැටළුව විසඳන ලෙස ඉල්ලීමක්

පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් හා දීමනා ගැටළුව විසඳන ලෙස ඉල්ලීමක්

පත්වීම් අනුමතකර, එහෙත් ප‍්‍රදානය නොකර, හිඟ වැටුප් හා වැටුප් ද නොගෙවා සේවය පමණක් ලබා ගන්නා පරිවේණාචාර්ය ගැටලූව නිරවුල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමත වී ඇතැයි පිරිවෙන් බලධාරීන් පවසන කැබිනට් යෝජනාව පරිදි වහා මුදල් නිදහස් කර වසරකට ආසන්න කාලයක් පීඩා විඳින, පත්වීම් අනුමතකර ඇති එහෙත් ප‍්‍රදානයකර නොමැති, එම හේතුව නිසා හිඟ වැටුප් හා වැටුප් නොගෙවා සේවය පමණක් ලබාගන්නා පරිවේණාචාර්යවරුන්ට අදාළ සියලූ හිඟ වැටුප් සහිතව වැටුප් ලබාදෙන මෙන් ඉල්ලා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනයට පණ පොවමින් පවත්වාගෙන යනුයේ පිරිවන් පද්ධතිය මගිනි. පාසල් ක්‍ෂේත්‍රයට වඩා බොහෝ සෙයින් වෙනස් වූ ක්‍රම රටාවක් යටතේ පිරිවෙන් ක්‍ෂේත්‍රය ක්‍රියාත්මක වෙන බව ඔබතුමා හොඳින් දන්නා බව අපි දනිමු. මූලික විෂයන් 6 ට පමණක් ගුරුවරු වෙන්වුණ, අතිරේක ගුරුවරු නොමැති, එක් ගුරුවරයෙක් හෝ පුරප්පාඩු වුවහොත් එය අනෙක් අයගෙන් පුරවාලිය නොහැකි, ඒ සඳහා අනිවාර්ය ලෙසම ගුරුවරයෙකු බඳවාගත යුතුවන පිරිවෙන් ක්‍ෂේත්‍රය අතිශය දුෂ්කරතා රාශියක් යටතේ පවත්වාගෙන එනු ලබයි.

ඉහත කාරණා එසේ තිබියදී පිරිවෙන් පද්ධතියේ පුරප්පාඩු වී ඇති පත්වීම් පුරවාලනු පිණිස සුදුසුකම් ලත් පරිවේණාචාර්යවරු බඳවාගෙන වසරකට ආසන්න කාලයකි. එසේ බඳවාගෙන ඇති සංඛ්‍යාව 248 ක් පමණ වෙයි. පිරිවෙන් මණ්ඩලයෙන් මෙම පත්වී අනුමතකර තිබියදීත් එම පත්වීම් ප්‍රදානය නොකර, හිඟ වැටුප් සමග වැටුප් ද නොගෙවා සේවය ලබා ගනිමින් සිටියි. මෙකී තත්වය නිසා ඇතැම් පරිවේණාචාර්යවරු සේවය අතැර ගොස් ඇත.

අර්බුදයක් කරා යමින් ඇති මෙම තත්වයට හේතුව ලෙස ඇතැම් පිරිවෙන් බලධාරීන් පවසනුයේ නවක පත්වීම් අනුමත නොකිරීමට මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණයක් මත මෙසේ පත්වීම් ප්‍රදානය නොකර, වැටුප් ද නොගෙවන බවයි. මෙම පත්වීම් නවක පත්වීම් නොව පුරප්පාඩු පියවීම සඳහා බඳවාගත් ඒවාය. ඒ සඳහා පූර්වයේ සිට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්වී ඇත. එම මුදල් අදාළ කලාප කාර්යාලවලටද මුදාහැර ඇත. එසේ තිබියදී වසරකට ආසන්න කාලයක් වැටුප් නොගෙවා, වැඩ ගනිමින් මෙම පරිවේණාචාර්යවරු පීඩනයට ලක්කිරීම යුතු නැත. තවද පිරිවෙන් පද්ධතියට ඉන් බලවත් හානියක් සිදුකරයි. පාරිවේණික ශිෂ්‍ය ප්‍රජාවට බලවත් අපරාධායක් මින් සිදුවෙයි. විශේෂයෙන් මෙම වසරේ පිරිවෙන් අවසාන විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය පිරිසට කරන අපරාධය අතිමහත්ය.

මේ සියල්ලේ වගකීම මුදල් අමාත්‍යංශය වෙත බැරවී ඇත. එබැවින් මෙකී ගැටලූව නිරවුල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමත වී ඇතැයි පිරිවෙන් බලධාරීන් පවසන කැබිනට් යෝජනාව පරිදි වහා මුදල් නිදහස් කර වසරකට ආසන්න කාලයක් පීඩා විඳින, පත්වීම් අනුමතකර ඇති එහෙත් ප‍්‍රදානයකර නොමැති, එම හේතුව නිසා හිඟ වැටුප් හා වැටුප් නොගෙවා සේවය පමණක් ලබාගන්නා පරිවේණාචාර්යවරුන්ට අදාළ සියලූ හිඟ වැටුප් සහිතව වැටුප් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු. තවදුරටත් මෙම ගැටලූ නොවිසඳන්නේ නම් වෘත්තීය හා අරගල ක්‍රියාදාමයන්ට පවා ප්‍රවේශවීම වැළැක්විය නොහැකි බවද අවධාරණය කරන්නෙමු.