සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා ලැබෙන විදේශ රැකියා ගසා කන තත්ත්වයකට ඇද දමලා

සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා ලැබෙන විදේශ රැකියා ගසා කන තත්ත්වයකට ඇද දමලා

රටේ පවතින ආර්ථික අර්බුධය හමුවේ විදේශ රටවලින් ශ්‍රී ලංකාවට ලබා දෙන රැකියා අවස්ථා සහ ඊට අදාලව ඒ වෙනුවෙන් වගකිව යුතු ආයතන වල මැදිහත්වීම හරහා හෝ ලබා ගනු ලබන විදේශ රැකියා අවස්ථා අයථා ව්‍යාපාරික උවමනාවන් සඳහා නිරාවරණය කරමින් සෞඛ්‍ය වෘත්තිකයන්ව ගසා කන තත්ත්වයකට පත්කිරීමට අදාල වගකිව යුතු ආයතන/ නිළධාරීන් හා බලධාරීන් මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ උසස් නිළධාරීන්ද කටයුතු කිරීම සහ වගකීම් පැහැර හැරීම ඉතා බරපතල ගැටළුවකි.

මේ වන විට සමාජ ජාලා වල සැරිසරමින් පවතින හා විවිධ නිළධාරීන් සහ විවිධ රැකියා ලබා දෙන බව පවසන කල්ලි විසින් ලන්සු තබමින් පවතින, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපතිතුමන් වන මහින්ද සමරසිංහ මහතා  ෆ්ලෝරිඩාවේ කර්මා සර්විසස් LLC අයතනය සමඟ ඇති කර ගත් එකඟතාවයට අනූව නිකුත් කර ඇති බව හැඟවෙන 2023 ජනවාරි 03 වැනි දිනැති ලිපිය සම්බන්ධයෙන් ඔබගේ දැඩි අවධානය යොමු කරවමි. ඒ අනූව ඇමරිකා එක්සත් ජනපදය සඳහා ලියාපදිංචි හෙද නිළධාරීන් 250 දෙනෙකු සහ රසායනාගාර තාක්ෂණික නිළධාරීන් 100 දෙනෙකු සහ හෙද සහයකවරු 200 සඳහා රැකියා අවස්ථා ලැබා ගත් බව සඳහන් වේ. නමුත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන් සඳහා වගකිව යුතු ආයතනයක් ලෙස ඒ පිළිබඳව නිළ තොරතුරක් ලබා ගැනීම සඳහා අප විශාල උත්සහයක් ගනු ලැබූ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාශ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය ආයතනය හා කර්මා සර්විසස් LLC අයතනය මඟින් නිශ්චිත නිළ තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය.

එමෙන්ම මෙවැනි විදේශ රැකියා අවස්ථා පිළිබඳව නිශ්චිත තහවුරු කිරීමක් සිදු කරගත හැකි පුද්ගලයෙක් හෝ ආයතනයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවා ස්ථාපිත නොකිරීම මඟින් විදේශ රැකියා වෙළඳ පොළ හරහා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය වෘත්තිකයන් උවමනාවෙන්ම ගසා කෑමකට ලක් කීරීමට වගකිය යුතු ආයතන විසින්ම කටයුතු කරන්නේද යන සැකය බරපතල ලෙස මතුවේ.

එනයින් ඉහත රැකියා අවස්ථා පිළිබඳ නිකුත් කර ඇති නිවේදනයෙහි සත්‍ය අසත්‍යතාවය සහ ඊට අදාල අනෙකුත් නිශ්චිත තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි. එසේම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය (CMLSSL) සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය (SLAGMLT) මෙරට සියළුම සුදුසුකම් සහිත වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ව නියෝජනය කරන වෘත්තීයවේදී ආයතනය හා වෘත්තීය සංගමය ලෙස ක්‍රියාකරන බැවින් එම රැකියා අවස්ථා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයද මැදිහත් කර ගනිමින් විනිවිද පෙනෙන සුළු ක්‍රමවේදයක් හරහා වඩාත්ම සුදුසු සහ දක්ෂතම අයඳුම්කරුවන්ව තොරාගැනීමට ක්‍රමවේදයක් සකස් කල හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර අනුගමනය කිරීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමි. 

එසේ සිදු කිරීම හරහා වෘත්තිකයන් විවිධ මට්ටම් වලින් ගසා කෑම මෙන්ම, නුසුදුසු පුද්ගලයන් තෝරාගැනීම හරහා මෙම රැකියා අවස්ථා අවධානමකට ලක්වීම වලක්වා ගත හැකි බවද පෙන්වා දෙමි.

 

ravi kumudesh 10

| රවී කුමුදේශ්, සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය