නව බදු ප්‍රතිපත්තයේ පිටුපස සිටින අදිසි හස්තය කවුද ?

නව බදු ප්‍රතිපත්තයේ පිටුපස සිටින අදිසි හස්තය කවුද ?

මහ බැංකු නිලධාරින් මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරින් පවා ප්‍රතික්ෂේප කරන නව බදු ප්‍රතිපත්තිය පිටුපස සිටින අදිසි හස්තය කවුරුන්දැයි හෙළිකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලෙකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතගේ අත්සනින්, මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකරමින් විමසීමක් කර ඇත.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.

GMOA/Treasury/2023/0002

2023.01.25

තනුජා පෙරේරා මහත්මිය,

බදු ප්‍රතිපත්ති උපදේශිකා,

මුදල් අමාත්‍යංශය,

කොළඹ 01.

ඉදිරිපත් වී ඇති අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය සඳහා ඔබගේ දායකත්වය පැහැදිලි කර ගැනීම.

ඔබ හොඳින් දන්නා පරිදි මේ වන විට ඉදිරිපත් වී ඇති අසාධාරණ හා අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශව ගණනාවක් තම බලවත් විරෝධය පල කර ඇත.

අප විශ්වාස කරන පරිදි මෙම බදු සංශෝධන යථාර්තවාදි නොවන අතර ඉහළ උද්ධමනකාරි වටපිටාවක හා ආර්ථිකය උග්‍ර ලෙස සංකෝචනය කර ඇති මොහොතක සිදු කර ඇති මෙම වෙනස්කම් කිසිසේත්ම පිළිගත නොහැක.

ඒ අනුව මෙම බදු සංශෝධනය තුල අන්තර්ගත උපයන විට ගෙවීමේ බද්ද ඇතුලු බදු වලින් උපයා ගැනීමට අපේක්ෂිත ඉලක්කගත ආදායම හුදු සංඛ්‍යාත්මක අගයක් පමණක් වනු ඇතැයි යන්න මේ වන විටත් ආර්ථික විශේෂඥයන් විසින් කරුණු සහිතව පුරෝකථනය කර ඇත.

මෙම බදු සංශෝධනය පිළිබඳ ස්වකීය අදහස් දක්වන ඒ සඳහා ඍජු ලෙස දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂිත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ඔවුන්ගේ වෘත්තීය සමිතිත්, මහ බැංකුවේ නිලධාරීන් හා ඔවුන්ගේ වෘත්තීය සමිතිත් මේ වන විටත් පෙන්වා දී ඇත්තේ මෙම බදු සංශෝධන සඳහා තමන්ගේ දායකත්වයක් නොමැති බවයි.

මෙම වටපිටාව තුල අප වෙත ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබි ඇත්තේ මේ වන විට වෘත්තීයවේදි කාණ්ඩ වල බලවත් විරෝධයට ලක්ව ඇති මෙම බදු සංශෝධන ඔබගේ ඍජු දායකත්වය හා උපදේශකත්වය මත සකස් වී ඇති බවයි.

ඒ අනුව අඛණ්ඩ විරෝධතා හා උද්ඝෝෂණ වලට මඟ විවර කරමින් රට අස්ථාවර කරන මෙම බදු සංශෝධන සඳහා ඔබගේ ඇති සම්බන්ධතාවය පැහැදිලි කර ගැනීමටත්, ඒ සඳහා ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි කටයුතු සැලසුම් කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරන ලදී.

  • ඉදිරිපත්ව ඇති බදු සංශෝධන ඔබගේ උපදේශකත්වය මත සකස් වූ බව ඔබ පිළිගන්නවාද?
  • එසේ නම් ඒ හරහා මතුවන හානිකර බලපෑම් වල වගකීම ඔබ විසින් බාර ගන්නේද?

යන්න පිළිබඳ පැහැදිලි කිරීමට කටයුතු කරන‌ මෙන් ඉල්ලා සිටිමු.

වෘත්තීයවේදි කාණ්ඩ රට හැර දමා යාමට පොලඹවන හා පොදු ජනතාව දැඩි පීඩනයකට ලක් කරන මෙම බදු සංශෝධන සාධාරණත්වයේ මූලධර්ම මත පෙලගස්වා නැවත සකස් කිරීම මුදල් අමාත්‍යංශයට බදු ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් ලබා දෙන බව දැනගන්නට ලැබි ඇති ඔබ වැනි නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කරමු.