ස්වාධීන කොමිෂන් සභාවලට විදුලිබල අමාත්‍යවරයා සිදු කරන බලපෑම් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි

ස්වාධීන කොමිෂන් සභාවලට විදුලිබල අමාත්‍යවරයා සිදු කරන බලපෑම් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි

අපොස උසස් පෙළ විභාගය පවතින 2023 ජනවාරි 23 වන දින සිට පෙබරවාරි 17 දින දක්වා කාලසීමාව තුළ විදුලි කප්පාදුව නොකර අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශයක් ලබා දී තිබියදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ මෙම බලහත්කාරී අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය ආණ්ඩුවේ ඇමතිවරු විසින් ස්වාධීන කොමිෂන් සභා වෙත සිදු කරන මෙම බලපෑම් වහා නතර කරන ලෙස බලකර සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල බලශක්ති අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබේ. එසේ තිබියදී එම එකඟතාවයන්ට පටහැනිව විදුලි කප්පාදුව අඛණ්ඩව සිදුකරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් සභාව වෙත අගතිගාමී ලෙස දෝෂාරෝපණ එල්ල කිරීමට හා බලපෑම කිරීමට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන බරපතල තර්ජනයකි

විශේෂයෙන්ම විදුලිබල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ වත්මන් සභාපති ජනක රත්නායක මහතා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙත යවනු ලැබූ ලිපිය ඔහුගේ  අභිමතය පරිදි යැවූ ලිපියක් බවත්, ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් ප්‍රකාශ කරමින් එම කොමිෂන් සභාව වෙත බලපෑම් කිරීම ජනතා විරෝධී ක්‍රියාවකි.

මහජනතාව වෙනුවෙන් ස්වාධීනව කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති ස්වාධීන කොමිෂන් සභාව වෙත ලබාදී ඇති සීමිත බලතල පවා ක්‍රියාත්මක කිරීමේදී එම කොමිෂන් සභාව වෙත ජනතා විරෝධී ආකාරයෙන් බලපෑම කිරීමට බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අනීතික තත්වයකි. රට ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේදී, එක් පුද්ගලයෙක් වෙත කේන්ද්‍ර වූ බලය යම් පමණකින් හෝ කොමිෂන් සභා හරහා පාලනය වී තිබියදී එම කොමිෂන් සභාවලට බලපෑම් කිරීම තුළින් නාමික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ද අහෝසි වන බව පැහිදිලිය.

විශේෂයෙන්ම මෙරට ආර්ථිකය මුළුමනින් ම බංකොලොත් භාවයට පත් කිරීමට වගකිව යුතු ආණ්ඩුවක ඇමතිවරයෙක් ලෙස හිදිමින් හා මිලියන ගණන් ජනතාවගේ විරෝධය හමුවේ කිසිදු ජන පදනමකින් තොරව බලයේ සිටින ආණ්ඩුවක ඇමතිවරයෙක් ලෙස ස්වාධීන කොමිෂන් සභා විසින් ජනතා සුභසිද්ධිය සඳහා ගනු ලබන පියවරයන්ට බලපෑම් කරමින් කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයකි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ මෙම බලහත්කාරී අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය ආණ්ඩුවේ ඇමතිවරු විසින් ස්වාධීන කොමිෂන් සභා වෙත සිදු කරන මෙම බලපෑම් වහා නතර කරන ලෙස බලකර සිටී.