වෛද්‍ය චමල් සංජීවගේ පෙත්සම විභාග කර අවසන්-තීන්දුවට දින නෑ

වෛද්‍ය චමල් සංජීවගේ පෙත්සම විභාග කර අවසන්-තීන්දුවට දින නෑ
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තොරතුරු හෙළිකිරීමත් සමඟ වැඩතහනමට ලක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති (MCPA) වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කර තිබේ.
 
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි විභාග කටයුතු අවසන් කළද, එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීමට 
බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ  ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (07) තීරණය කර ඇත.
 
පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යුනිසෙෆ් වාර්තා තුළින් ද මෙරට ළමුන් මන්ද පෝෂණයට ගොදුරුවී ඇති බව සඳහන් කොට ඇතැයි කියා සිටියේය.
 
මන්ද පෝෂණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ද ප්‍රකාශ කර ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා ඒ බව දැක්වෙන පුවත්පත් කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකර සිටියේය.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගැනීමකින් තොරව මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම තුළින් සෞඛ්‍ය සේවාව කෙරෙහි මහජනයා තුළ අවිශ්වාසයක් ගොඩ නැගීමට ක්‍රියා කළේ යැයි පෙත්සම්කරු වෙත චෝදනා එල්ලවී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා කිසිදු අවස්ථාවක මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් නොකළ බවත් සඳහන් කර සිටියේය.
 
එබැවින් ඔහුට එරෙහිව පැවැත්වෙන විනය ක්‍රියාමාර්ග නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කර සිටියේය.
 
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සූරියවැව, වල්සපුගල කොස්වගාව ප්‍රදේශයේ දරුවන් 20දෙනෙකු පමණක් සමීක්ෂණයට භාජනය කොට පෙත්සම්කාර වෛද්‍යවරයා විසින් එම ප්‍රකාශය සිදුකර ඇති බවත් එය වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බවත් කියා සිටියාය.
 
පෙත්සම්කාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විනය පරීක්ෂණ හතරක් පවතින බවත් ඇය සඳහන් කළාය.
 
තමාට විදේශ පුහුණුව සඳහා යාමට අවසරදෙන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා සිටියද, ආයතන සංග්‍රහය ප්‍රකාරව වැඩතහනමට ලක්ව සිටින රාජ්‍ය සේවකයෙකුට විදේශ පුහුණුව සඳහා යාමට නිවාඩු හිමි නොවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය.
 
පෙත්සම්කාර වෛද්‍යවරයා සිය පෞද්ගලික මතයක් ජනමාධ්‍ය ඔස්සේ සමාජගත කරමින් මෙරට සෞඛ්‍ය සේවාව කෙරෙහි මහජන විශ්වාසය කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, ඔහුට එරෙහිව සිදුකරනු ලබන විනය ක්‍රියාමාර්ග නීත්‍යානුකූල බවත්, අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම්,  ඒවා අද දින සිට සති හතරක් තුළ ගොනුකරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කරමින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල්තැබීය.