පුයර වෙනුවට – මජං,  විලවුන් වෙනුවට – තෙල්,  “ඒත් රටට ඔබ සුවඳයි නගේ“

ambilipitiya-women-garage

රටට බරක් නොවුණු ඇඹිලිපිටියේ ගරාජ් ලඳුන්

වර්තමානයේ මෙරට ආර්ථිකයේ වැඩිම බරක් දරන්නිය කාන්තාවන් වේ. ඒ වගේම අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක්ම සිටින්නේ කාන්තාවන්ය. එම නිසා මේ වන විට කාන්තාවන් සවිබල ගැන්වීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතී. රටක ආර්ථිකය පවතින්නේ සවිබල ගැන්වූ කාන්තාවන් මතය. එපමණක්ම නොව සාක්ෂරතාවය අතින් මෙන්ම ආයු අපේක්ෂාව අතින් ඉහළින් සිටින්නේ කාන්තාවන්ය.

කාන්තාවන් සවිබල ගැන්වීමේදී තරුණියන් මේ වන විට පිරිමින් හා සමානවම කරට කර රැකියා තෝරාගනිමින් සිටී. ඔවුන්ගේ සියුමැලිකමට එහා ගිය යකඩ සමග පොරබදන චරිත බවට මේ වන විට කාන්තා තරුණ ජවය පත්ව ඇත.

පුයර වෙනුවට - මජං විලවුන් වෙනුවට - තෙල් ඒත් රටට ඔබ සුවඳයි නගේ!

මේ කතාව එවැන්නකි, කාන්තාවන් රැකියාව වශයෙන් තෝරාගන්නා ඉතා පහසු නිවාඩු තිබෙන කාර්යය බහුල නොවන ඒවාය. එහෙත් මේ වන විට ඉතාමත් අසීරු රැකියා තෝරා ගන්නා එහෙත් එම රැකියා ඉතාමත් හොඳින් විනෝදයෙන් කරනා තරුණියන් තිදෙනකු අපට මුණගැසුනි.

ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටියේදීය. ගරාජ් වැඩ කරන මේ ලියන්, ඔවුන් සොයා අපි ඇඹිලිපිටිය සරච්චන්ද්‍ර මෝටර්ස් ඇන්ඩ් ඉන්ජිනේරින් ආයතනයට ගියෙමු. ඒ යන විට අපි දුටුවේ විශාල ලියවන පට්ටල් මැෂින් තුනක ලියවන පට්ටල් වැඩ කරන තරුණියන් තිදෙනෙකි. ඔවුන් අනෙකුත් සේවක මහත්වරුන් සමග ඉතාමත් සුහදශීලීව තම රැකියාව කරන ආකාරය අපිට දක්නට හැකි විය. මෙම ගරාජය තුළ වාහන නඩත්තු කටයුතුවල සිට සියලු කටයුතු සිදු කරනු ලබන ආයතනයකි. එම වාහනවලට අවශ්‍ය උපාංග සහ පිටස්තර පුද්ගලයන් විසින් ලබාදෙනු ලබන ඉල්ලීම් ඒ අනුව ඉටු කිරීමට මෙම තරුණියන් තිදෙනාට පැවරෙන කාරණයකි. ඔවුන් ඉතාමත් මනාව එම කටයුතු සිදු කරන ආකාරය අප කැමරාවේ සටහන් විය.

පුයර වෙනුවට - මජං විලවුන් වෙනුවට - තෙල් ඒත් රටට ඔබ සුවඳයි නගේ!

ඉතාමත් යොවුන් වියේ පසුවන මේ තරුණියන් තිදෙනා සමග අප දොඩමලු වුණෙමු. මම මල්කා මලිකි තුෂානි, මට අවුරුදු 18 යි. මම පදිංචිය සූරියවැව බැදිලංතොට. මම මුලින් සූරියවැව බැදිගංතොට විද්‍යාලයට අධ්‍යාපනය සඳහා ගියා. පසුව මම ඇඹිලිපිටිය පදලංගල මහ විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තා. අපේ පවුලේ 4 දෙනයි ඉන්නේ. අම්මයි තාත්තයි අක්කයි මමයි. මම ඇඹිලිපිටිය කාර්මික විද්‍යාලයට ගියේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරන්න. එතනදී මට ආස හිතුනා ලියවන පට්ටල් වැඩ පාඨමාලාවක් කරන්න ඕන කියල. මේක ICT සම්බන්ධ දෙයක්. මම ඒ පාඨමාලාව කරගෙන ගියා. ඉතින් මම එතනින් නැවතුනේ නැතිව මම රැකියාවක් කරන්න කියල හිතුවා. දැන් මට වයස අවුරුදු 18යි. මේක මට හොඳ අවස්ථාවක්. මම අවරුදු 18 දී රැකියාවක් කරනවා. මම රැකියාව සඳහා ඇඹිලිපිටිය සරච්චන්ද්‍ර මෝටර්ස් ආයතයට එද්දී ලොකු බයක් තිබුණා පිරිමිත් එක්ක අපි කොහොමද එකට වැඩ කරන්නේ කියලා. මෙම ආයතනයේ කළමනාකාරීත්වය ඉතාමත් සුහදශීලීව අපි ගැන සොයලා බලල අපිට සියලුම පහසුකම් දීල අපිට මෙම ආයතනයේ රැකියාව දුන්නා. දැන් අපි රටට සේවයක් කරල වැටුපක් ලබාගන්නෙ. ඒ වැටුපෙන් අපේ පවුල් නඩත්තුකරන තරුණියන්.

ඒ. ඩබ්ලිව්. තරුෂි උර්ෂුලා (21) ඇය කොළොන්න ප්‍රදේශයේ පදිංචි අනෙක් තරුණියයි. ඇය කොළොන්න ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා පසුව ඇඹිලිපිටිය කාර්මික විද්‍යාලයට එක්වී ඇත. ඇයද ලියවන පට්ටල් වැඩ ඉතාමත් හොඳින් ඉගෙනගෙන මේ වන විට රැකියාව කරමින් සිටී. ඇයද පස්දෙනකුගෙන් සමන්විත පවුලක තරුණියකි.

පුයර වෙනුවට - මජං විලවුන් වෙනුවට - තෙල් ඒත් රටට ඔබ සුවඳයි නගේ!

ඇය අප සමග කියා සිටියේ මෙම රැකියාවට එන විට අපිට ඇත්තටම බයක් තිබුණා. අපිට ගැහැණු ළමයි කියල කිසි විටෙකත් වෙනස්කම් කළේ නැහැ. අපිට කිසි වෙනසක් නැහැ. අපිට සහෝදරයන්ට වගේ තමයි මෙතන සිටින අය සලකන්නේ. ගොඩක් අය කිව්වේ මේ ලියවන පට්ටල් වැඩ තෝරගන්න එපා කියල. ඒත් මේ මට කැමති දේ. මේ සඳහා මට අම්ම තාත්තා ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම අපි නොදන්න දේවල් තියෙනවා. ඉතාමත් හොඳින් අපිට ඒ දේවල් මේ ආයතනයේදී කියල දෙනවා.

මෙම දෙදෙනා සමග එකටම කාර්මික විද්‍යාලයේදී මෙම පාඨමාලාව හැදෑරු තවත් දියණියකි. රම්‍යා සුගන්දි ඇයට අවුරුදු විස්සයි. ඇයද මේ වන විට ඇඹිලිපිටිය මෙම වැඩ පළේ වැටුප් ලබන තරුණියකි. ඇයද අපි සමග කියා සිටියේ, මම ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ බුලුතොට විද්‍යාලයටත් පසුව උසස් පෙළ සඳහා කොළොන්න ජාතික පාසලටත් ගියා. විශ්වවිද්‍යාලයේ යන්න බැරි වුණ නිසා මම ඒ ගැන හිත හිතා සිටියේ නැහැ. ඉක්මනින්ම වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට මම අයැදුම්පත් යොමු කළා. ඒ අනුව මම ඇඹිලිපිටිය කාර්මික අධ්‍යාපන ආයතනට ඇතුළත් වෙලා හොඳින් ලියවන පට්ටල් වැඩ ඉගෙන ගත්තා. ඒ අනුව තමයි මටත් මගේ යාලුවන් දෙදෙනාත් එක්ක මෙම ආයතනයේ සේවය කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මම සතුටු වෙනවා මේ වගේ වයසක මට හොඳ රැකියාවක් කරන්න ලැබීම සම්බන්ධයෙන්. අපේ ගෙදර අම්මයි තාත්තයි මමයි නංගියි විතරයි ඉන්නේ. අපේ ගෙදර ශක්තිමත් කරන්න දැන් මට උපකාරී විය හැකියි.

පුයර වෙනුවට - මජං විලවුන් වෙනුවට - තෙල් ඒත් රටට ඔබ සුවඳයි නගේ!

| හේමසිරි සමරවික්‍රම කළමණාකරු

පාසල් නිමවී රැකියා නොමැතිව සිටින හැමෝටම කියන්න කැමතියි, රජයේ රැකියා බලන් ඉන්න එපා, තමන් ඉක්මනින් වෘත්තීය පුහුණුවක් ලබාගත යුතුයි. මෙවැනි අංශවල මේ රටේ ඕනෑ තරම් රැකියා තියෙනවා. එහෙම ඉගෙනගෙන ඒ රැකියාව කරන්න. රටට බරක් වෙන්න එපා, රටට සම්පතක් වන්න. අද රටේ වැඩ කරන ජනතාවගෙන් 60% ක් සහ සමස්ත රාජ්‍ය සේවය කරන ජනතාවගෙන් බොහෝ ප්‍රමාණයක් සිටින්නේ කාන්තාවන්ය. රාජ්‍ය මෙන්ම අර්ථ රාජ්‍ය, ගොවිබිම් හා මෙකී නොකී සෑම ස්ථානයකම කාන්තාවන් මේ වන විට සේවය කරයි. ඔවුන් රටට ධන උල්පතකි.

මේ සම්බන්ධයෙන් අපත් සමග අදහස් දක්වමින් සරත්චන්ද්‍ර මොටර්ස් ඉංජිනේරින් ආයතනයේ කළමනාකරු හේමසිරි සමරවික්‍රම මහතා කියා සිටියේ, මේ වන විට මෝටර්ස් ක්ෂේත්‍රයට ඉහළ ඉල්ලුමක් තියෙනවා. මෙම රැකියාවලට යොමු වන ප්‍රමාණය දැන් වැඩියි. අපේ ළඟ වැඩ කරන මේ දියණියන් තිදෙනා තමන්ගේ වගකීම අකුරටම ඉටු කරනවා. අනෙක් අයත් සමග ඉතා සුහදශීලීව වැඩ කරන ආකාරය අපට නිරීක්ෂණය වනවා. මේ අය හරිම විනෝදයෙන් ඉන්නේ. කාන්තාවන් මේ වගේ තැනක වැඩ කරන විට ඉතා ආකාර්ශනීයයි. මේ වගේ තරුණියන්ට මේ වගේ අංශවලට ඉදිරියේදීත් අත දීමට අපි බලාපොරොත්තු වෙනවා. තවත් කාන්තාවන් මෙම ආයතයට බඳවා ගන්න අපි කටයුතු කරන බව කළමනාකාරවරයා කීය. විභාගයෙන් ඉහළට යෑමට නොහැකිවූ විට හඬා වැළපෙනවාට වඩා, ඒ පිළිබඳව පසුතැවෙනවාට වඩා රටේ සමස්ත ආර්ථිකයට යම් දායකත්වයක් ලබාදීමට ඉදිරිපත්වූ මෙම තරුණියන් තිදෙනා අපට මහත් සම්පතකි.

ඔවුන් කියා සිටියේ මේ ක්ෂේත්‍රයේ තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට ඇති බවයි. අපි මෙම ක්ෂේත්‍රයෙන්ම ඉහළට යා යුතුයි. ඒ වෙනුවෙන් බොහෝ දේ ඉගෙන ගනිමින් තම රැකියාව කරන බවද ඔවුන් සඳහන් කළේය.

ප්‍රගීත් ජනක (දිවයින)