වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු මහාචාර්යවරිය වූ ළමා රෝග විශේෂඥ මහාචාර්ය ප්‍රියානි සොයිසා සඳුදා (අප්‍රේල් 10) බොරැල්ල කනත්තේදී අවසන් ගමන් ගියා ය.
අප්‍රේල් මස 7 වන දා අභාවප්‍රාප්ත වන විට ඇය 97 වන වියේ පසුවූවා ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කළ ඇය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කළා ය.
1925 නොවැම්බර් මස 23 වන දා මොරටුවේදී උපත ලබා ඇති ප්‍රියානි සොයිසා මොරටුව වේල්ස් කුමරි විදුහලේ ආදි ශිෂ්‍යාවකි.
පසුව ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව උපාධිය ලබා ගත්තා ය.
බ්‍රිතාන්‍යයේදී වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා යළි ශ්‍රී ලංකාවට පැමිණි ඇය වෛද්‍යවරියක ලෙස සේවය කළ අතර, පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක ලෙස ද සේවය කළා ය.
MBBS(Cey), DCH(Eng), MD(Cey), DSc (Ruhuna) Honoris causa, FRCP(Edin), FRCP(Lond), FRCPCH(UK), FCCP(SL), FSLCPaed යනු ඇයගේ අධ්‍යාපනික ගමන් මගේ පසු කළ සන්ධිස්ථාන කිහිපයකි.
ඊට අමතරව, ඇය වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බලපෑ නව පර්යේෂණ රැසකට ක්‍රියාකාරී ලෙස දායක වී තිබේ.
ලෝකයට ම බලපෑ ඇගේ සේවාව
අලුත උපන් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් මව් කිරි දීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සදහා පමණක් නොව ඒ සදහා අවශ්‍ය පරිපාලනමය පසුබිම සකස් කිරීමට මහාචාර්ය ප්‍රියානි සොයිසා කැප වී ක්‍රියා කළා ය.
1980 දශකයේදී මව් කිරි වෙනුවට වෙනත් ආදේශක කිරිපිටි හදුන්වා දීම සදහා වෙළෙද ප්‍රචාරණ කටයුතු අධිකව සිදු කරගෙන ගිය බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය පූජිත් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.
"ඒ කාලයේ මව් කිරි වෙනුවට වෙනත් ආදේශක ලබා දීම සහ ඒවා ප්‍රචාරණය කිරීමට එරෙහිව මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය දැඩිව ක්‍රියා කළා. ඇය මේ පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය කරා ගෙන ගියා. ඒ අනුව තමයි, මව් කිරි ආදේශක සදහා වෙළෙඳ ප්‍රචාරණ කටයුතු කිරීම තහනම් කළේ," මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ පැවසීය.
ඇයගේ මෙම ක්‍රියාන්විතය හරහා මව් කිරි දීමේ අගය කෙරෙහි ලෝකයේ ම අවධානය යොමු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.
"මහාචාර්යතුමිය එතනින් නැවතුණේ නෑ. මව් කිරි දීම වැදගත් වුණත් වැඩ කරන මව්වරුන්ට තමන්ගේ දරුවාට කිරි දෙන්න විදිහක් ඒ කාලයේ තිබුණේ නෑ. ඒ කාලේ ප්‍රසූත නිවාඩු තිබුණෙ නෑ. ඇය සටන් කළා මව්වරුන්ට මව් කිරි දීම සදහා ප්‍රමාණවත් ප්‍රසූත නිවාඩු සංඛ්‍යාවක් දිය යුතු බව. ඒ උත්සහය සහ කැපවීම නිසා තමයි ශ්‍රී ලංකාවේ මව්වරුන්ට ඒ මහගු අවස්ථාව ලැබුණේ. ඒක ශ්‍රී ලංකාවේ ළමා පෝෂණයට ඍජු ලෙස බලපෑවා," මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ය.
මේ අනුව, මේ වන විට දරු ප්‍රසූතියකදී මව්වරුන්ට වැඩ කරන දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු හිමි වෙයි.
මහාචාර්ය ප්‍රියානි සොයිසා ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමට ද කැප වී ක්‍රියා කළ අයෙකි.
එතුමියගේ ක්‍රියාකාරිත්වය යටතේ ශ්‍රී ලංකාවේ පෝලියෝ තුරන් කිරීමේ කාර්ය සාධක බළකායක් ස්ථාපනය කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කර දැමීමට හැකි විය.
තනතුරු සහ වගකීම්
ඇය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය උදෙසා ක්‍රියාත්මක වූ ආයතන රැසක සභාපති ධුරය දැරීය.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති යන තනතුරු ඉන් කිහිපයකි.
1991 වසරේ ඇය විශ්‍රාම ලැබූ අතර විශ්‍රාම යන තෙක් තමන්ගෙන් විය යුතු සියලු යුතුකම් ඉටු කළ බව මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ පැවසීය.
2017 වසරේදී ඇය එවකට ජනාධිපති ධූරය දැරූ මෛත්‍රීපාල සිරිසේන අතින් දේශමාන්‍ය ගෞරව සම්මානයට පාත්‍ර විය.
"ආදරණීය මවක්"
ඇය සිය වෘත්තිය කැපවීම් කරන අතරතුර සිය පවුල පිළිබදව ද අතිශයින් සංවේදී වූ "ආදරණීය මවක වූ" බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා පවසයි.
උගුර, කණ, නාසය පිළිබද ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආනන්ද සොයිසා සමග විවාහ වී සිටි මහාචාර්ය ප්‍රියානි සොයිසා දැරියන් සිව් දෙනෙකුගේ මවකි.
ඇය සිය කාර්ය බහුල ජීවිතය හමුවේ සිය පවුලේ සාමාජිකයින් සමග ද කාලය ගත කිරීමට අමතක නොකළ බව වෛද්‍ය පෙරේරා පවසයි.
(bbc/sandeshaya)