ඉහළ ගිය ඖෂධ හිඟය අද වනවිට විශාල ලෙස පහළ බැස තිබෙනවා

ඉහළ ගිය ඖෂධ හිඟය අද වනවිට විශාල ලෙස පහළ බැස තිබෙනවා

මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මේ වනවිට 100 - 112 ත් අතර ප්‍රමාණයකට පහළ බැස ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මාස කිහිපයකට පෙර මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ අතුරින් ඖෂධ 169 ක පමණ හිඟයක් පැවැතිණි. මේ වනවිට එම තත්ත්වය ඉතා යහපත් ලෙස කළමණාකරණය කර ගනිමින් සිටින බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා කොළඹ ජාතික රෝහලේ (25) දින පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. 

ඉදිරි මාස දෙක තුන වන විට මෙරට ඖෂධ හිඟය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කිය. විශේෂයෙන් ඉකුත් දස වසර දෙස ආපසු හැරී බැලීමේ දි කිසිදු අවස්ථාවක රට තුළ ඖෂධ අවශ්‍යතාවය 100% ක් සපුරා නොතිබී ඇතැයි ද, සෑමවිටම ඖෂධ යම් ප්‍රමාණයක හිඟයක් පැවැත ඇතැයි ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රමාණය 383 ක් වන අතර, ජිවිත ආරක්ෂක ඖෂධ ප්‍රමාණය 14 කි. එම ජිවිතාරක්ෂක ඖෂධ ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව අඛණ්ඩව රට තුළ පැවැති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට එම ඖෂධ සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇතැයි ද කීය.

වර්තමානය වනවිට සායනික රෝගීන් සදහා අවශ්‍ය වන බොහෝ ඖෂධ රට තුල නිෂ්පාදනය කරන තත්ත්වයකට පැමිණ ඇතැයි  ද,  ඉදිරි දෙවසර තුළ රටට අවශ්‍ය ඖෂධ අතුරින් සියයට 40-50 ක ප්‍රමාණයක් රට තුළ ම නිෂ්පාදනය කිරීම ඉළක්කය බව ද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මේ වන විට ඒ සදහා අවශ්‍ය මුලික වැඩපිළිවෙළ සියල්ල ක්‍රියාවට නංවා ඇතැයි ද ඒ අනුව එම ඉළක්කයට යාමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.