වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින සැමරුමක් සඳහා ආරාධනා !

වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින සැමරුමක් සඳහා ආරාධනා !

2020 වසරේ සිට මුහුණ දුන් කොවිඩ් වසංගත අර්බුදය නිසා දැඩි බලපෑමකට ලක්ව සිටි සමස්ථ කම්කරු ප්‍රජාවට 2022 අප්‍රේල් මාසයේ සිට රටේ පැන නැගී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් තමන් රැකියාවෙන් උපයන ලද ආදායම අඩුවීම සහ අධික උද්ධමනය නිසා දිනෙන් දින භාණ්ඩවල මිල වැඩිවීම සමග කුසට ආහාර වේලක් ලබා ගැනීම සඳහා ද බරපතල අරගලයක යෙදී සිටීමට සිදුව ඇත. එසේ ආරම්භ වූ ආර්ථික අර්බුදය දේශපාලන සහ සමාජමය අර්බුදයක් දක්වා ගමන් කිරීම හේතුවෙන් රට පුරාම දැඩි නොසන්සුන් තත්ත්වයකට පත්ව ඇත. මෙම ආර්ථික අර්බුදය ක්‍ෂණිකවම බලපෑ මධ්‍යම පන්තික තරුණ කොටස් ආරම්භ කළ ගොල්ෆේස් අරගලය බලයේ සිටි අගමැතිට සහ ජනාධිපතිට බලය අතහැර යාම දක්වා උග්‍ර වුවද ඒ මාර්ගයෙන් බලයට පත් වත්මන් ජනාධිපති යටතේත් මෙම ආර්ථික අර්බුදයට දිගුකාලීන විසඳුම් සොයා ගැනීම තවමත් ප්‍රශ්නයක් වී ඇති බව ජනාධිපති විසින්ම කරන ලද ප්‍රකාශ වලින් තහවුරු වී ඇත.

ආර්ථික අර්බුදයේ මුල් අවස්ථාවේදී පැවති ඉන්‍ධන පෝලිම්, ගෑස් හිඟය, විදුලි කප්පාදුව වැනි තත්ත්වයන් මේ වන විට පහව යාමෙන් ජනතාවට යම් අස්වැසිල්ලක් ලැබී ඇති බව පෙනී යතත්, ඒවා පවත්වාගෙන යාම සඳහා අධික බදු පනවමින් සිටින බැවින් අවසානයේදී එහි බර ද ජනතාව මතම පටවා ඇත.

පසුගිය කොවිඩ් වසංගතය යොදා ගනිමින් කම්කරුවන්ගේ ආදායම්, රැකියාවන් අහිමි කළ පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් එය යොදා ගනිමින් සහ ගෝලීය උද්ධමනය හේතුකොට ගෙන තම ඇණවුම් අඩුවී ඇතැයි ප්‍රකාශ කරමින් සේවක රැකියා අනතුරට ලක් කරමින් සහ ආදායම් කප්පාදු කරමින් ආර්ථික අර්බුදය නිසා රුපියලේ අගය බාල්දුවීමත් සමග විශාල ආදායමක් උපයාගත් සේවා යෝජකයින් වෘත්තීය සමිතිවල ඉල්ලීම මත ලබා දුන් ආර්ථික සහන දීමනා ද අහිමි කරමින් පවතී.

ආර්ථික අර්බුදයට ඇති එකම විසඳුම අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම බව ප්‍රකාශ කළ ආණ්ඩුව එම ණය ලබා ගැනීමෙන් පසුව මෙතෙක් නොගෙවා සිටි ණය ගෙවීම සඳහා තව තවත් වක්‍ර බදු සහ ඍජු බදු පනවමින් කටයුතු කරන අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ මුවාවෙන් සේවක අර්ථ සාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් ආණ්ඩුව ලබා ගත් ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමට තීරණය කළහොත් මෙම සමාජ සුභසාධන අරමුදල් වල පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල විය හැක.

එපමණක් නොව මෙම ආර්ථික අර්බුදයට මුවාවී ආයෝජකයින් ආකර්ශණය කිරීමට යැයි පවසමින් දිනකට වැඩ කළ යුතු පැය ගණන පැය 08 සිට පැය 12 දක්වා අතිකාල ගෙවීමකින් තොරව වැඩි කිරීමටත්, සතියකට වැඩ කළ යුතු පැය 45 පැය 48 දක්වා වැඩි කිරීමටත්, කාන්තා ශ්‍රමිකයින්ගෙන් මසකට අතිකාල සේවය පැය 60 ක් දක්වා ගැනීමට ඇති අයිතිය පැය 75 දක්වා වැඩි කිරීමටත්, රාත්‍රී 10.00 න් පසු, පසු දින පෙ.ව. 6.00 දක්වා කම්කරු කාන්තාවගෙන් සේවය ලබා ගැනීමට හැකි දින 10 දින 15 දක්වා වැඩි කිරීමටත්, විනයානුකූල නොවන හේතූන් මත හෝ ආයතන වසා දැමීමේ හේතුව මත සේවයෙන් පහ කරන සේවකයින්ට වන්දි ලබා දීමට නියමිත වන්දි සූත්‍රය අහෝසි කර සේවා යෝජකයින්ට අත්තනෝමතික ලෙස සේවකයින් සේවයෙන් ඉවත් කිරීමට හැකි නීතිමය රාමු සකස් කර ගෙන ඒකීය කම්කරු නීතිය නමින් නව කම්කරු පනතක් මැයි මස තුළ ගෙන එන බවට කම්කරු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

2022 මැයි දිනය අප සංගමය පමණක් අභිමානවත් ලෙස පෙළපාලියක් පවත්වමින් කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ සිට ගෝල්ෆේස් පිටිය දක්වා ගමන් කරමින් එදා ගෝල් ෆේස් පිටියේ රැස්ව සිටි අරගලකරුවන් අමතා අප සංගමය ලබා දුන් පණිවිඩය වූයේ එම ආර්ථික අර්බුදය ජය ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමටත්, ගෞරවාන්විත රැකියාවන් සහතික කර ගැනීමටත් ඇති එකම මඟ වෘත්තීය සමිති ප්‍රමුඛ සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යාවශ්‍ය බවය. අප සංගමය එදා පටන් දිගින් දිගටම එම අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටි අතර එවැනි සමාජ ව්‍යාපාරයක් අප රටේ නොතිබීම නිසා පාලකයින්ට අද ත්‍රස්ත විරෝධී පනත් නමින් මර්ධන නීති ගෙන ඒමටත්, අත්‍යාවශ්‍ය සේවා බවට යම් යම් සේවාවන් ප්‍රකාශයට පත් කරමින් වෘත්තීය සමිති මර්ධනය කිරීමටත්, වෘත්තීය සමිතිවලට විරුද්ධව ජනතාව උසිගැන්වීමටත් හැකියාව ලැබී ඇත. මෙම තත්ත්වය තුළ අප සංගමය කියා සිටියේ මෙවර මැයි දිනයේදී හෝ සියළු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඒකරාශී වී අපගේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට මැයි දිනය හොඳම අවස්ථාවක් කර ගත යුතු බවය.

දේශාපාලන පක්‍ෂවල අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලට එවැනි උවමනාවක් නොමැති බැවින් අපගේ මැදිහත්වීම මත අනෙකුත් ස්වාධීන වෘත්තීය සමිති සමග එක්සත්ව මෙවර මැයි දින පෙළපාලියක් සහ රැළියක් පැවැත්වීමට හැකිවීම ගැන අප සංගමය සතුටු වන්නෙමු. 2022 මැයි දින පෙළපාළිය පිටත් වූ කොළඹ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී එම ඒකාබද්ධ මැයි දින රැළිය පැවැත්වෙන අතර එම රැළියට කොටුව දුම්රිය පෙ‍ාළ ඉදිරිපිට සිට වෘත්තීය සමිති ඒකාබද්ධ පෙළපාලියකින් පැමිණීමට සාකච්ඡා කර ඇත.

මෙම තත්ත්වය තුළ අප සංගමය ස්වාධීන සහ අප රටේ ආර්ථිකයේ කොදු නාරටිය වන අපනයන ක්‍ෂෙත්‍රය ඇතුළු නවීන කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් ලෙස මෙවර මැයි දිනයේදී ද මීට පෙර වසර වල මෙන් අප සංගම් ධජය යටතේ සංගමයේ සියළුම සාමාජික සාමාජිකාවන් ගමන් කරමින් ඔවුන්ගේ අධිෂ්ඨානය සහ අභිමානය ප්‍රදර්ශනය කරන මෙන් අප සංගමයේ සියළුම සාමාජික සාමාජිකාවන්ට සහෝදරත්වයෙන් ආරාධනා කරන්නෙමු.

(නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් තම සාමාජිකයින් සඳහා බෙදාහරින ලද පත්‍රකාවකි)

සබැඳි පුවත්