ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගුරුවරු හෑල්ලුවට ලක් කිරීම හෙළා දකිමු

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගුරුවරු හෑල්ලුවට ලක් කිරීම හෙළා දකිමු

ගුරුවරු හෑල්ලුකරමින්, දරුවන්ගේ අයිතීන් උදුරාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාටත්, ඔහු නියෝජනය කරන රනිල් - රාජපක්ෂ ආණ්ඩුවටත් දැඩි විරෝධය දැක්වීමට මෙරට ගුරු-විදුහල්පති ප්‍රජාව සමග ලංකා ගුරු සංගමය කටයුතු කරන බව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2023 ඔක්තෝම්බර් 25 දින කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ තණපිඩලි ඇල්ලීමේ උත්සවයක් සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැමිණි අවස්ථාවේදී, පෙර දින ගුරු-විදුහල්පති උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් කළ පහරදීම පාදක කර ගනිමින් පාසලේ ගුරුවරු විසින් ඔහුට විරෝධය දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය මගින් මාධ්‍ය වෙත යොමු කොට ඇත. එම මාධ්‍ය නිවේදනය මගින් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන් මෙන්ම සමස්ත ගුරු විදුහල්පතිවරු අමාත්‍යවරයා විසින් හෑල්ලුවට ලක් කර ඇති අතර, ඔවුන් වැරදි ආදර්ශක් සපයා ඇති බව සඳහන් කර ඇත.

වසර ගණනාවක් තිස්සේ මෙරට අධ්‍යාපන පද්ධතිය මුළුමනින් ම අගාධකට ඇද දමමින් පමණක් නොව මුළු රටම බංකොලොත් භාවට පත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාලක දේශපාලනඥයන් විසින් ගුරු විරෝධතාවය වැරදි ආදර්ශයක් බව ප්‍රකාශ කිරීම බරපතල විහිළුවකි. මුළු රටම ආර්ථික බංකොලොත් භාවයකට පත් කර ජනතාවට ජීවත්විය නොහැකි තත්වයක් උදාකර තිබියදී පාසල් ක්‍රීඩාපිටියක තණපිඩලි ඇල්ලීම සඳහා ජනතා මුදලින් උත්සව පවත්වන මෙවැනි අමාත්‍යවරුන්ට විරෝධය දැක්වීමට ගුරුවරු පෙරමුණ ගැනීම සමස්ත ජන සමාජයටම යහපත් ආදර්ශයක් බව සිහිබුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන  කරුණක් බව අප රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට අවධාරණ කර සිටිමු.

එසේම අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන් වන්නේ අමාත්‍යවරයාට එරෙහිව ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ උද්ඝෝෂණය මෙහෙය වූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන තෙක් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ මහජන මුදලින් සිදු කරන සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන් බවයි. තමාට විරෝධය දැක්වූ ගුරුවරුන්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් පාසල් දරුවන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට තරම් ක්‍රීඩා අමාත්‍යවරයා පහත් නින්දනීය තත්වයකට වැටී ඇති ආකාරය මේ තුළින්ම පැහැදිලි වේ.

පසුගිය ජනතා අරගලයෙන් පසු ජනතාව අතරට යාමට නොහැකිව සිටින දේශපාලනඥයන් පාසල්වල තණපිඩලි ඇල්ලීම, ක්‍රීඩා සංවර්ධනය වැනි විවිධ අවශ්‍යතාවයන් පෙන්වමින් නැවතත් තම පටු ඡන්ද අරමුණු වෙනුවෙන් මේ ආකාරයෙන් පාසල්වලට පැමිණීම සිදුවෙමින් පැවතීම කනගාටුදායක තත්වයකි.

මේ ආකාරයෙන් ගුරුවරු හෑල්ලුකරමින්, දරුවන්ගේ අයිතීන් උදුරාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාටත්, ඔහු නියෝජනය කරන රනිල් - රාජපක්ෂ ආණ්ඩුවටත් දැඩි විරෝධය දැක්වීමට මෙරට ගුරු-විදුහල්පති ප්‍රජාව සමග ලංකා ගුරු සංගමය කටයුතු කරන බව අවධාරණය කර සිටිමු.