නුවරඑළිය තැපැල් කාර්යාලය: මල්වතු හිමියෝ දේශපාලනඥයින්ට දෙහි කපති

නුවරඑළිය තැපැල් කාර්යාලය: මල්වතු හිමියෝ දේශපාලනඥයින්ට දෙහි කපති

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස දේශපාලනඥයින්ට විවිධ අවස්ථාවල කොතෙක් අවවාද අනුශාසනා කළ ද ඔවුන් එය කිසිවිටෙක මායිම් නොකිරීම කණගාටුවට කරුණක් බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසති‍.

උන් වහන්සේ මේ බව සඳහන් කළේ, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ නියෝජිත පිරිසක්  (නොවැ. 8) නාහිමිපාණන් වහන්සේ හමුවී සංදේශයක් භාර දුන් අවස්ථාවේදී ය.

සංදේශය භාර දෙමින් තැපැල් වෘත්තීය සමිති නියෝජිතයන් නාහිමියන්ට පවසා සිටියේ, ජනාධිපතිතුමන් ඉතාමත් අත්තනෝමතිකව නුවරඑළිය හා මහනුවර ඉපැරණි තැපැල් සංකීර්ණ ඉන්දියානු හෝටල් සමාගමකට විකිණීමට උත්සහ කරන බැවින් එම උත්සහය වැළැක්වීම සඳහා නාහිමියන්ට මැදිහත් වීමක් සිදු කරන ලෙස ය.

දැඩි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් වසර 200කට වඩා මෙම ඉපැරැණි ගොඩනැගිලි මේ වන විට ද සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව පවතින බැවින් ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව සන්තකයේ තබා ගනිමින් ම සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා මාලාවක් තම වෘත්තීය සමිති මගින් රජයට ලබා දී තිබුණ ත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන ජනාධිපතිවරයා රටේ සම්පත් මේ ආකාරයෙන් විකිණීම කිසිසේත් ම අනුමත කළ නොහැකි බව වෘත්තීය සංගම් නියෝජිතයෝ නාහිමියන්ට පැවසුහ.

මෙහි දී නාහිමියන් දැක් වූ අදහස් මෙසේ ය.

”වත්මන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2018 වසරේදී නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා. අපට මතකයි. අපි දැක්කා විදේශිකයෝ පවා මේ පෞරාණික ගොඩනැගිල්ල විකුණනවාට එරෙහිව අදහස් පළ කරනවා. විරෝධතා පවත්වනවා. විවිධ ගැටලුවලදී රටේ විශේෂයෙන් ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන්නැයි මහා සංඝරත්නය වශයෙන් අප කොතෙක් අනුශාසනා කළ ද බොහෝ දේශපාලනඥයෝ ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක්. අප කොතෙක් අනුශාසනා කළ ඒ අය ඒ අයට අවශ්‍ය ගමන යන්න තමයි උත්සාහ කරන්නේ. මහා සංඝ රත්නය වශයෙන් අප මේ පිළිබඳව ඔවුන් දැනුවත් කළ ත් වැඩක් වේවි ද කියලා කියන්න බෑ. වරායට, ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට උණෙත් ඔය දේ ම තමයි. නුවරඑළියේ තවත් ඉඩ තියෙන තැනක තැපැල් කන්තෝරුව වගේ ආකෘතියට හෝටලයක් හදලා සංචාරකයෝ ගෙන්නන්න පුළුවන්නේ ”

නාහිමියෝ ලංකාව පුරා පිහිටි පෞරාණික තැපැල් ගොඩනැගිලි සියල්ල ම විකිණීම සඳහා රජය කටයුතු කරන්නේ දැයි වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් විමසා සිටියහ.

වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සඳහන් කළේ, එම සියලු පෞරාණික ගොඩනැගිලි මෙන් ම රටේ සම්පත් රැසක් අලෙවි කිරීම සඳහා මේ වන විට රජය පිඹුරුපත් සකසමින් සිටින බව ය.

නාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ පවසා සිටියේ, ජනාධිපතිතුමාගේ මෙම අත්තනෝමතික කටයුතුවලට එරෙහිව තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට බලාපොරොත්තු වන බව ත් ඒ සඳහා ද ජනාධිපතිවරයා නම්‍යශිලිභාවයක් නොදක්වන්නේ නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධ කොට දැවැන්ත තැපැල් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට හෝ පසුඹට නොවන බව ත් ය.

(මව්බිම)