ජාතික අධ්‍යාපන ආයතනයේ අවිධිමත් බඳවාගැනීම්වලට විරෝධය

ජාතික අධ්‍යාපන ආයතනයේ අවිධිමත් බඳවාගැනීම්වලට විරෝධය

ජාතික අධ්‍යාපන ආයතනයේ අවිධිමත් බඳවාගැනීම් සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වෙත ලිපියක් යවමින් එම බඳවා ගැනීම් නතර කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අංක ල.ගු.සේ.ස/අ.ඇ/26 හා 2023.12.15 දිනැතිව .ජාතික අධ්‍යාපන ආයතනය තුළ සිදුවන අක්‍රමිකතා හා අවිධිමත් කටයුතු සම්බන්ධවයි, ශීර්ෂයෙන් ඔබ වෙත යොමු කළ ලිපියත් එකී ලිපියේ 4 වන ඡේදය කෙරෙහිත් ඔබගේ අවධානය යළි යොමු කරන්නෙමු.

2. එම ලිපියේ 4 ඡේදයේ සඳහන් කරුණු සම්බන්ධව අප සංගමය ඔබ වෙත පෙන්වා දුන් ඒකී සහකාර කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ අවිධිමත් ක්‍රියාවලිය ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තවදුරටත් එලෙසම ඉදිරියට ගෙනයමින් සිටින බව තහවුරු වී තිබේ.

මෙම අවිධිමත් බඳවාගැනීම් සඳහා අද දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර ඇත.

3. මෙම අවිධිමත් බඳවා ගැනීම් වලට අප සංගමය ද අනෙකුත් ගුරු, විදුහල්පති සංගම් ද ජාතික අධ්‍යාපන ආයතනයේ වෘත්තිය සමිති ද විරෝධය පළ කර තිබියදී ඒ සියල්ල නොසලකා අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතිකව මෙම අවිධිමත් බඳවාගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධව අප සංගමයේ විරෝධයත්, පිළිකුලත් ප්‍රකාශ කරන්නෙමු.

4. ජාතික අධ්‍යාපන ආයතනයේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙම බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සිදුකරන නීතිවිරෝධී බඳවාගැනීම් සම්බන්ධවත්, මෙම ආයතනය තුල සිදුවන අනෙකුත් වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳවත්, ඉතා කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර, ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ ලියාපදිංචි වෘත්තිය සමිති නියෝජනයන් ද සහභාගි කරගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

එතෙක් මෙම අවිධිමත් හා අත්තනෝමතික බඳවා ගැනීම් අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.