සරම්ප රෝග ව්‍යාප්තිය පාලනයට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහන ඇරඹේ

සරම්ප රෝග ව්‍යාප්තිය පාලනයට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරය ඉතාමත් ප්‍රශස්ත, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කීර්තිමත් වැඩසටහනක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ (06) දින සරම්ප රෝග ව්‍යාප්තිය පාලනය සදහා මාස 06 - 09 ත් අතර ළදරුවන් සදහා අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ එක් දින ජාතික වැඩසටහනට සමගාමීව  කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පැවැත්වෙන සායන අවස්ථාවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ,

2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගත් රටක් බවය. 2023 වර්ෂයේ මැයි මාසයේ සිට රෝගීන් 740 ක් සරම්ප රෝගීන් ලෙස වාර්තා වී තිබෙන බවත් ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ලබා ගනිමින් යුනිසෙෆ් ආයතනය ද සම්බන්ධ කරගෙන මාස 6 - 9 ත් අතර දරුවන්ට අතිරේක සරම්ප මාත්‍රාවක් ලබා දීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තීරණයක් ගත් බව පැවසීය.

මීට අමතරව අද දිනය පුරා දිවයිනේ සාමාන්‍ය සායන මධ්‍යස්ථාන වලින් මාස 9 - අවුරුදු 15 ත් අතර සරම්ප එන්නත ලබා නොගත් දරුවන් වේ නම් එ් අයට අතිරේක සරම්ප මාත්‍රාවක් ලබා දීමට ද, කටයුතු කරන බවත් මෙම වැඩසටහන නැවතත් සති දෙකකින් ක්‍රියාත්මක කරන බවද, කීවේය.

එමෙන්ම මෙම ජාතික වැඩසටහන අද දිනයේ සායන මධ්‍යස්ථාන 1600 ක, දිස්ත්‍රික්ක 9 ක් කේන්ද්‍රීය කරගෙන ක්‍රියාත්මක වන බවත් මේ සදහා සායන මධ්‍යස්ථාන 1600 ක් සුදානම් කරමින් මෙය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධානය සිදුකල වසංගත රෝග විද්‍යා අංශයටත්, තාක්ෂණික සහය සහ අනෙකුත් සහය ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට, යුනිසෙෆ් ආයතනයට, මෙන්ම සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත්, ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල වලටත් විශේෂ ස්තුතියක් ද සෞඛ්‍ය ලේකම්වරයා පුද කර සිටියේය.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කුඩා දරුවන් වෙසෙන නිවෙස් වලට ගොස් මෙම අතිරේක සරම්ප එන්නත ලබා ගැනීමේ වැදගත්කම පිලිබදව දෙමව්පියන් දැනුවත් කිරීමටද පියවර ගන්නා ලදී. 

මෙහි පළමු අදියර යටතේ අවදානම් දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ වැඩ සටහන ක්‍රියාත්මක වන අතර ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල, කල්මුණේ (කළාපය) යන  දිස්ත්‍රික්ක වල මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අවදානම් දිස්ත්‍රික්කවල නිවාස වලට ගොස් මෙම ජාතික වැඩසටහන සහ  එන්නත් ලබාදෙනු ලබන සායන පිළිබදව ජනතාව දැනුවත් කිරීමට මීට පෙර කටයුතු කර තිබුණි.

මෙම නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය, අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි යන මහත්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වුහ.