කරාපිටිය රෝහලේ සියළු රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් වෙයි

කරාපිටිය රෝහලේ සියළු රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් වෙයි

බීමත්ව පැමිණ, සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහරදුන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්‍රිෂාන්ත පෙරේරා නැමැති ශල්‍ය වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමට බල කරමින් කරාපිටිය රෝහලේ සියළු කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මහජන ආරක්ෂක අමාත්‍ය, ටිරාන් අලස් මහතා වෙත ලිපියක් යවමින් දන්වා සිටියි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

උක්ත කරුණ පිළිබඳව අප සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් යොමු කරන ලද අංක HSTUA/Gen/2024 (03) දරණ 2024.01.20 දිනැති ලිපිය හා 2024.01.18 දින “118 මාර්ගගත හදිසි පැමිණිලි පද්ධතිය” හරහා යොමු කරන ලද අංක ECS5892735 දරණ පැමිණිල්ල හා බැඳේ.

වෛද්‍ය ආචාරධර්ම වලට හා සමාජ සදාචාරයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි වෙමින් තම වර්ගයාගේ පැවැත්ම හා ගෞරවය මත පමණක් පිහිටා සත්‍ය කණපිට පෙරලීමත්, උක්ත සංසිද්ධියට අදාල සැබෑ වින්දිතයන් අපරාධකරුවන් බවට පත්කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නායකයින් හා අදාල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්  කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් කීපදෙනෙක් විසින් ගෙනයනු ලබන අසාධාරණ, අනීතික, සාදාචාරාත්මක නොවන සහ ව්‍යාජ ක්‍රියාපිළිවෙල ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

මේ වන විටත් බලය සහිත වෛද්‍ය වෘත්තික ප්‍රජාවගේ උන්නතිය පමණක් පාදක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය විසින් සිදු කරනු ලැබූ විනය පරීක්ෂණ වලදී එසේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වූයේද යන සාධාරණ සැකය තහවුරු වෙමින් පැවතීයදී පවා නීතියේ ආධිපත්‍ය සැමට සාධාරණ අයුරින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔබතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගවන්නේද යන්න පිළිබඳවත් අප දැඩි අවධානයෙන් පසු වන බවත් පෙන්වා දෙමු.

කෙසේ නමුත් උක්ත කරුණ අදාලව පහත කරුණු පිළිබඳව ඔබතුමාගේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන අතරම අපක්ෂපාතීව මැදිහත් වෙමින් සිද්ධියට අදාල සැබෑ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැදිහත්වන වනු ඇතැයිද අප උදක්ම බලාපොරොත්තු වෙමු.

  1.  පිළිකා අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරී ආවරණය කරමින් තිබියදී පවා අදාල විශේෂඥ වෛද්‍යවරයා විසින් අනවශ්‍ය ලෙස ගැටළුවක් ඇති කර ගැනීම හා ඊට අදාලව පසුව තිරපිටපත් මත වෙනම කතාවක් නිර්මාණය කිරීම.
  2. 2024.01.18 දින 118 මාර්ගගත හදිසි පැමිණිලි පද්ධතිය හරහා යොමු කරන ලද පැමිණිල්ලේ අදාල වෛද්‍යවරයා බීමත්ව හැසිරුනු බවට පැමිණිලි කර ඇතත් එය සනාථ කිරීමට අදාල වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම හෝ නොකිරීම.
  3. මින් පෙර ගර්භනී තත්වයේ පසුවූ වෛද්‍යවරියකටද පහරදී වරද කරුවෙකු වී ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාල විනය ක්‍රියාමාර්ගයට අදාලව දඬුවමක් ලබා දී තිබේද, නොතිබේද.
  4. සායනික සුවිශේෂීතාවය මත පදනම් වෙමින් වෛද්‍ය ආචාරධර්ම වලට හා සමාජ සදාචාරයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි වන අයුරෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීම හා අදාල වෛද්‍යවරයා වෙනුවෙන් අනවශ්‍ය රැකවරණයක් ලබා දීම.

එබැවින්, සත්‍ය පිළිබඳ සාක්ෂි වසන් කරමින් හෝ එසේ කිරීමට අනුබල දෙමින් එක් වෛද්‍යවරයෙකුගේ වුවමනාව මත රටේ නීතිය හැසිරවන්නේද යන්න පිළිබඳව අප දැඩි අවධානයෙන් පසුවන අතරම, එසේ සිදුවන බව තහවුරු කෙරෙන ඕනෑම අවස්ථාවකදී නැවත දැනුම් දීමකින් තොරව දිවයින පුරා ඉතාමත් දැඩි හා සෘජු වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට සිදුවන බවත් ඉතා කණගාටුවෙන් යුතුව දන්වා සිටින අතරම, එසේ සිදු නොකිරීමට නම් ඔබතුමා ඇතුළු පොලිස් දෙපාර්තවේන්තුවේ බලය සැමට සාධාරණ අයුරින් ක්‍රියාත්මක කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.