බැංකු සේවක මහා සම්මේලනය අද මහනුවරදී

බැංකු සේවක මහා සම්මේලනය අද මහනුවරදී

ආණ්ඩුවේ කම්කරු විරෝධී සහ ජනතා විරෝධි ක්‍රියාවලට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් සහ තැපැල් වෘත්තීය සමිති ද ඒකාබද්ධ කර ගනිමින් පළාත් මට්ටමින් දිවයින පුරා විරෝධතා මහා සම්මේලන මාලාවක් පැවැත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර ඇති බවත් එහි දෙවැන්න මහනුවරදී අද (03) දී පෙරවරු 9.00ට මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිට දී පවත්වන බව බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, 2024 වර්ෂය සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද අය වැය යෝජනා තුළින් ඉදිරිපත් කර තිබූ බොහෝ ජනතාද්‍රෝහී සැළසුම් අතර රටේ ආර්ථික මර්මස්ථානවන ලංකා බැංකුවේත්, මහජන බැංකුවේත් 20% බැගින් වූ කොටස් ප්‍රමාණයක් උපායමාර්ගික ආයෝජනයන් සඳහා යැයි පවසමින් ව්‍යාපාරික හිතවතුන්ට විකුණා දැමීම ද ඇතුළත් කොට ඇත. එසේම අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව යැයි පවසමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් බැංකු ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් තුළ මෙතෙක් ක්‍රියාත්මකව තිබූ සියලුම ආකාරයේ සාමූහික ගිවිසුම් නැවත අලුත් කිරීම හෝ නව ගිවිසුම්වලට එළඹීම තහනම් කොට ඇත. මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා තැපැල් සේවය විකුණා දැමීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එබැවින්,

  • රාජ්‍ය බැංකු ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් විකිණීම
  • සාමුහික ගිවිසුම් තහනම
  • අසාධාරණ බදු අයකිරීම්
  • කම්කරු නීති කප්පාදුව
  • මර්දනීය අණ පනත් සහ
  • සේවක අරමුදල් කොල්ලකෑම

යන ආණ්ඩුවේ කම්කරුවිරෝධී සහ ජනතා විරෝධි ක්‍රියාවලට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් සහ තැපැල් වෘත්තීය සමිති ද ඒකාබද්ධ කර ගනිමින් පළාත් මට්ටමින් දිවයින පුරා විරෝධතා මහා සම්මේලන මාලාවක් පැවැත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර ඇත.

මින් පෙර කලින් කලට පැවැති ආණ්ඩු විසින්ද රාජ්‍ය බැංකු කොටස් විකිණීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා සංගමය විසින් පරාජය කරනු ලැබූවද 2024 අයවැය යෝජනා තුළින් නැවත එය කරළියට පැමිණ ඇති බැවින් සහ ඊට අමතරව වසර 50 කට අධික කාලයක් තිස්සේ සංගමය විසින් බැංකු පාලකයින් සමඟ අත්සන් කරන ලද සාමූහික ගිවිසුම් ක්‍රියාවලිය තහනම් කොට ඇති බැවින්ද, වෘත්තිකයන්ගෙන් අසාධාරණ බදු අයකිරීමේ ගැටලුවට විසඳුම්ලැබී නැති බැවින්ද ඉහත සඳහන් රාජ්‍ය ආයතන විකිණීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කොට ඇති බැවින් ද මෙම සම්මේලන මාලාව දියත් කෙරේ. 

එහි දෙවැනි මහා සම්මේලනය මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල සාමාජිකත්වයේ සහ ඉහත සඳහන් වෘත්තීය සමිතිවල සාමාජිකත්වයේ සහභාගීත්වයෙන්, 2024 පෙබරවාරි මස 03 වෙනි දින, පෙ.ව. 9.00 ට, මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිට දී පැවැත්වේ.