Online පනත නීති විරෝධී ලෙස සම්මත කිරීම ‘මාර්තු 12 ව්‍යාපාරය’ තරයේ හෙළා දකියි

Online පනත නීති විරෝධී ලෙස සම්මත කිරීම ‘මාර්තු 12 ව්‍යාපාරය’ තරයේ හෙළා දකියි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට දැඩි තර්ජනයක් බව මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වත්මන් රජය මෙම නීතිය සම්මත කිරීමේදී අනුගමනය කළේ කිසිවෙකුටත් ඇහුම්කන් නොදෙන දැඩි ස්ථාවරයකි. තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතින මේ මොහොතේ මෙන්ම එළඹෙන මැතිවරණ සමයේදී ද විරුද්ධ මත නිහඬ කිරීමටත් සහ සිවිල් ක්‍රියාකාරීත්වය යටපත් කිරීමටත් මෙවැනි නිතී යොදා ගැනීම රජයේ අභිලාෂය වන බව පැහැදිලි ය.

අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල බව විමසමින් මෙරටේ පුරවැසියන් සහ ආයතන කිහිපයක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූහ. ඊට කන්දුන් ගරු අධිකරණය, පනතේ සභා සම්මතයට පෙර සංශෝධනය කළ යුතු වගන්ති දක්වමින් තම විනිශ්චය ලබාදෙනු ලැබීය. නමුත් මේ වන විට දසතින් නැගෙන චෝදනා සැකෙවින් විමසීමේදී පැහැදිලි වන්නේ, ආණ්ඩු පක්‍ෂය ඉතා උපක්‍රමශීලි ලෙසින් අධිකරණ නිර්දේශයේ සඳහන් සමහර තීරණාත්මක සංශෝධන නොසළකා පනත් කෙටුම්පත සම්මත කර ඇති බවයි.

මෙම කරුණ සත්‍යයක් නම්, වත්මන් පාර්ලිමේන්තුව එදාමෙදාතුර මෙරටේ ස්ථාපිත වෙස්ට්මිනිස්ටර් මාදිලියේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උඩුයටිකුරු කොට ඇත්තේය. එපමණක් නොව එවැනි ප්‍රයෝගකාරී වැරැද්දක් නිවැරදි කරගත හැකි ක්‍රමවේදයක් පිළිබඳව ද කරුණු පැහැදිලි නැත. මේ අනුව ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් හඳුන්වා දීමට අමතරව, නීතියක් සම්මත කිරීමට පෙර අධිකරණයේ සමාලෝචනයට භාජනය කොට අවශ්‍ය වෙනස් කම් සිදු කිරීමට ව්‍යවස්ථාපිතව සහතික කර ඇති අයිතිය පාර්ලිමේන්තුව උල්ලංඝනය කර ඇති බව, ‘මාර්තු 12 ව්‍යාපාරය’ ලෙස අපි පෙන්වා දීමට කැමැත්තෙමු.

ඒ අතරතුර, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙන්ම විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත ආදී ජන හිතවාදී නොවන නීති ගෙන එමින්, ජනතාව සහ විසම්මුතික බලවේග නිහඬ කරන්නට හා පීඩාවට පත් කරන්නට ආණ්ඩුව අඛණ්ඩ උත්සාහයක් ගනු ලබමින් සිටියි.

මෙරටේ බලය හොබවන ආණ්ඩු පක්‍ෂය සහ ඒ පසුපස යන දේශපාලන පක්‍ෂ විසින් මෙවැනි  පීඩාකාරී අනපනත් ගෙන එනු ලබන්නේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ අතෘප්තිකර ජීවන රටාවක් මධ්‍යයේ සමාජ අසහනය ක්‍රමයෙන් දළුලා වැඩෙන පරිසරයක් තුළ පුරවැසියන් නිහඬව දුක් විඳිද්දී ය. මේ නිහඬ බව යනු රජයේ අනීතික හා බලහත්කාරී පාලනයට අවනත වීමක් නොව, විශාල විරෝධයක “පෙරබිම” බව ‘මාර්තු 12 ව්‍යාපාරය’ අවධාරණය කරයි.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා ඇති සංශෝධන සියල්ල මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බව සහතික කරන ලෙස අපි පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අධිකරණයට සහ පුරවැසියන්ගේ පරමාධිපත්‍යයට ගරු කරමින්, නීති සම්පාදනයේ දී පාර්ලිමේන්තුව නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම, ශ්‍රී ලංකාව තුළ පිරිසිදු දේශපාලනයක් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වැදගත් වනු ඇත.