බහුකාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන්ට සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම්

බහුකාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන්ට සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම්

දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල වන  කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

බහු ‍කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් වශයෙන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ 93 කට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ III) ශ්‍රේණියේ තනතුරට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

2024.01.05 සහ 06 යන දෙදින පවත්වන යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරික්ෂණයෙන් සමත් 93 දෙනෙකු 2024.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස සෞඛ්‍ය කාර්ය සහායක තනතුරට පත්කෙරිනි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහමෝදර මාතෘ රෝහල දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල බවට පත් කරමින්  මාර්තු මස දිනෙක කරාපිටියට ගෙන යන‍ බවත්,  දැනට එහි වැඩකටයුතු සියයට 99 ක් ම අවසන්ව තීබෙන බවත් ය.

2006 වසරේ දී මෙම රෝහලේ ඉදිකිරීම් ආරම්භව 2007 වර්ෂයේ දී ඉදිකිරීම් කටයුතු නතර වී තිබුන බවත්,  2010 වර්ෂයේ තමන්  පාර්ලිමේන්තු යන විටත් එහි වැඩකටයුතු ආරම්භව නොතිබුන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන ලදි.

එදා සිට තම ප්‍රමුඛ අරමුණ වූ‌යේ මෙම රෝහලේ වැඩකටයුතු අවසන් කිරිම බවත්,  2012 වසරේ දී නැවත ණය මුදලක් ලබාගෙන තට්ටු 06 කට අදාල නව සැළැස්මකට අනුව 2015 දී  වැඩකටයුතු ආරම්භ කළ බවත්,  නමුත් කොවිඩ් අර්බුදය, වෛද්‍ය සහ ශල්‍ය  උපකරණ ගෙන්වීම  ඇතුලු ගැටළු ගණනාවක් මතු වුන බව ද පැවැසිය. අද වන විට ඇදන් 600 කින් යුත් නවීන පහසුකම්වලින් යුක්තව ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය වැනි කිසිම රටක නැති  දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල බවට නොබෝ දිනකින් පත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.

මෙම පත්වීම්ලාභීලාභීන් සේවා අවශ්‍යතාවය මත රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය  අමාත්‍යාංශය පියවර ගෙවන ඇත.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.