පීඑච්අයි රොෂාන් ඝාතනය කළේ කවුරුන්ද?

පීඑච්අයි රොෂාන් ඝාතනය කළේ කවුරුන්ද?

 “අද මම මුලින්ම ඉස්කෝලෙ යන්න තාත්තා ඇඳුම් අන්දවන ගමන් හිටියෙ. එක පාරටම මාමා කෙනෙක් ගෙදර දොර ඇරගෙන ඇතුළු වෙලා තාත්තාව තල්ලු කරන් ගිහින් වෙඩි තිබ්බා. තාත්තා කෑගහගෙන ඉස්සරහ දොර පැත්තට දුවද්දි ඒ මාමා තාත්තාට වෙඩි දෙක තුනක් තියලා පැනලා ගියා. මමයි, ආච්චියි පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා.”

ඝාතනයට ලක්වුණ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරගේ පුංචි පුතාගේ මේ ප්‍රකාශය හද කම්පාකරන සුලුයි. ඒනිසාම වෙන්න ඇති මේ ප්‍රකාශය සමාජ මාධ්‍ය අවකාශයේ වයිරල් වෙලා තිබුණේ. පුතාගේ පාසල් ජීවිතේ ඇරඹුම තාත්තාගේ ජීවිත ගමනේ කෙළෙවර සටහන් කරලා තිබුණා. මොකද්ද මේ කතාව?

පසුගිය පෙබරවාරි 26 සඳුදා දවසේ මම හිටියේ ඇල්පිටියේ. හවස තුනට විතර පාරට ගියාම පාරේ හැමතැනම වගේ එස්ටීඑෆ් කණ්ඩායම් හිටියා. ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයට එස්ටීඑෆ් සෙබළුන් ආගන්තුක නෑ. ඒත් තැනින් තැන ජීප් නතරකරගෙන මේ හිටපු විදිහ නිසා පාරේ හිටපු කෙනෙක්ගෙන් ඇහුවා මොකද්ද හේතුව කියලා. එතකොට ඔහු තමයි කිව්වේ ‘කරන්දෙණියේ පීඑච්අයි මහත්තයා මරලානේ, මරපු අය මේ පාරේ තමයි ගිහිං තියෙන්නේ‘ කියලා. ඊටපස්සේ තමයි ඇත්තටම දන්නේ උදේ 7ට කිට්ටුව වෙලාවක කුරුඳුගහ හැතැක්මට ආසන්නයේ පතිරාජ මාවතේ තිබුණ ඔහුගේ නිවසට ආපු නන්නාඳුනන තුවක්කුකරුවෙක් නිවස ඇතුළදීම ඔහුට වෙඩි තියලා ගිහිං තිබෙනවා කියන කතාව.

පොලීසිය කියන කතාව

උදේ හතට ආසන්න වෙලාවක යතුරුපැදියක ආපු දෙන්නෙක්ගෙන් එක් අයෙක් පීඑච්අයි මහත්තයාගේ නිවසට ගිහිං රොෂාන් මහත්තයා කියලා කතා කරලා තියෙනවා. ඒ කතාවට එළියට ආපු රොෂාන්ට වෙඩි තබන්නට උත්සාහ කරන විට ඔහු නිවස ඇතුළට පැනලා දොරවහගෙන තිබෙනවා. ඒ අවස්ථාවේ තියපු වෙඩි දොරේ වැදිලා සලකුණු වෙලා තිබුණා. ඊටපස්සේ නිවස ඇතුළට ගිය තුවක්කුකරුවා නිවස තුළදීම රොෂාන් ඝාතනය කරලා පැනලා ගිහිං තිබුණා. පුංචි පුතා කුරුඳුගහ හැතැක්ම තෙරේසා විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කරන්න තමයි ඉඳලා තිබෙන්නේ. පාසලට රැගෙන යන්නට මොහොතකට පෙර තමයි මේ සාහසික ඝාතනය සිද්ධවෙන්නේ.

ඇල්පිටිය කොට්ඨාස අපරාධ අංශය, ගාල්ල අපරාධ අංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම බුද්ධි අංශ කණ්ඩායමක් මේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවමින් ඉන්නවා කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අනිද්දා වෙත ප්‍රකාශ කළේ. ඔහු එහිදී වැඩිදුරටත් කිව්වේ මේ ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිද්ධවුණ ඝාතනයක් කියලා පොලීසිය සැකකරනවා කියලා. ඒත් මේ ලිපිය ලියන පෙබරවාරි 29 වෙනිදා උදෑසන වෙනකොටත් ඝාතනය පිළිබඳව හරිහැටි කරුණු අනාවරණය වෙන්නේ නෑ.

පොලීසිය කියන විදිහට ඝාතකයෝ ඇල්පිටිය අලුත්ගම පාරේ ඇවිත් හොරවල තොටුපොළ හරහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ඉත්තෑපාන පැත්තට ගිහිං තිබෙනවා. ඒක සැකයක් විතරයි. සීසීටීවී දර්ශන ඔස්සේ වගේම දූරකථන සම්ප්‍රේෂණ කුලුනු වාර්තා හරහාත් මේ පිළිබඳ පරීක්ෂණ ඉදිරියට සිද්ධ වෙනවා කියලා නමයි පොලීසිය ප්‍රකාශ කරන්නේ. ඒත් දකුණේ මේ පාරවල්වල හැමතැනම සීසීටීවී කැමරා සවිකරලා නෑ. ඒනිසා ඒ හරහා තොරතුරු සොයන එක ඒ තරම් ලේසි වෙන්නේ නෑ.

යුක්තිය වගේ පොලිස් මෙහෙයුම් සිද්ධවෙන වෙලාවක, ඩුබායි වැනි රටවල්වල සැඟවෙලා හිටියාය කියන පාතාල නායකයෝ සංදර්ශන ස්වරූපයෙන් අත්අඩංගුවට අරගෙන රටට රැගෙන එන වෙලාවක, අලුතින් පොලිස්පති කෙනෙක් පත්වෙන වෙලාවක, මෙහෙම ඝාතන සිද්ධවෙන්නේ කොහොමද? ඒකයි ප්‍රශ්නය.

තරහාකාරයෝ හිටියාද?

මම මේ ප්‍රශ්නය ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් ඇහුවා ඔහු මට දුන්නේ මෙහෙම උත්තරයක්.

‘ඇත්තටම මේ මරණයට හේතුව මොකද්ද කියන්න අපි තවමත් දන්නේ නෑ. පොලීසියෙන් ඇහුවාම පොලීසිය කියන්නේ තවමත් කිසිවක් අනාවරණය වෙලා නෑ කියලා. අපි දන්න තරමින් ඔහුට තරහාකාරයෝ හිටියේ නෑ. ඔහු ලංකාව පුරා නඩුවලට උපදෙස් දුන්නා ඒ දේවල් කළා. ගාල්ල ප්‍රදේශයේ පවතින නඩු මෙහෙයවූවේ ඔහු. ඔහු කරන්දෙණියට එන්න කලින් ඇල්පිටිය එම්ඕඑච් එකේ වැඩ කළා. මේ කිසි දේකින් අපිට මේ ඝාතනයට හේතුවක් හොයාගන්න පේන්නේ නෑ. නමුත් අපිට හිතන්න වෙනවා මේ ඝාතනයට හේතුව රාජකාරිය නිසා පැනනැඟුණු ගැටලුවක් වෙන්න ඇති කියලා. ඒ එක්කම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විදිහට අපිට විශාල බයක් ඇතිවෙනවා අපේ රාජකාරිය සම්බන්ධයෙන්. ඒනිසා අපි රජයෙන් ඉල්ලන්නේ මේ ඝාතනයේ සැබෑ හේතුව ඉක්මනින් සොයාගෙන මේ රට දැනුවත් කරන්න අපිව දැනුවත් කරන්න කියලා. මොකද මේ රටේ පීඑච්අයි මහත්වරුන්ට බියසැක නැතිව වැඩකරගෙන යන්න ඒක වැදගත්.‘

ඝාතනයට ලක්වූ දිලීප රොෂාන් කුමාරගේ බිරිඳ, යහළුවන්, හිතවතුන් කියන්නේ ඔහුට තරහකාරයින් හිටියේ නෑ කියලා. ඔහු සමග එකට කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩකරපු සහෝදර සේවක ප්‍රජාව කියන්නෙත් ඒ කතාව. ඔහු එක්ක එකට රාජකාරි කරපු ඇල්පිටියේ සහ කරන්දෙණියේ පීඑච්අයි නිලධාරීන් කියන්නේත් දිලීපට සතුරන් හිටියේ නෑ කියලා. මම ඔහු සමග ඔහු යටතේ රාජකාරි කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙක්ගෙන් ඇහුවාම ඔබලා කණ්ඩායම ආන්දෝලනාත්මක වැටලීමක් කළාද මෑතක කියලා, ඔහුගේ පිළිතුර වුණේ නෑ කියන එක. ඝාතනය කරන්නට තරම් හේතුවකට නිමිත්තක් වුණ වැටලීමක් හෝ නඩු කටයුත්තක් ඔහුට කරන්දෙණියේ තිබුණේ නෑ කියන එක තමයි ඒ සහෝදර නිලධාරියාගේ අදහස.

ඇත්තටම දිලීප රොෂාන් කුමාර ඝාතනය කළේ ඇයි? ඝාතකයන් මේ ඝාතනය සිදුකළේ කොන්ත්‍රාත්තුවකට අනුව නම් එම කොන්ත්‍රාත්තුව ලබාදෙන්නට හේතුව කුමක්ද? මේ සියල්ල තවමත් අබිරහසක් විතරයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කවුරුන්ද, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ කවුරුන්ද වැනි අභිරහස් පවා විසඳනු ලැබූ පොලීසියකට මෙම ඝාතනයේ සැඟවුණ තොරතුරු සොයාගැනීම අසීරු වෙන්නට විදිහක් නෑ.

ඔහු ඝාතනය කරන්නට ආසන්නතම හේතුවක් තිබෙන්නේද?

ඝාතනයට ලක්වුණ දිලීප රොෂාන් කුමාර අවසන් වතාවට යූටියුබ් මාධ්‍ය හරහා කළ සංවාදය විදිහට සටහන් වෙන්නේ චමුදිත සමරවික්‍රම සමග කරපු ‘ටෘත් විත් චමුදිත’ සාකච්ඡාව. මීට මාස 7කට විතර කලින් කරපු සමාජ මාධ්‍ය අවකාශය අස්සේ ගොඩක් ජනප්‍රිය වුණ මේ වැඩසටහනට වෛද්‍යවරයෙකු සමග ආපු රොෂාන්, දුඹුරු සීනි, රතුහාල්, මිරිස්කුඩු, සෝස් වගේ දේවල්වල අන්තර්ගත වෙලා තිබෙන පිළිකාකාරක ඩයි වර්ග ගැන තමයි කතා කළේ. දිලීප සමග එකට සමීපව හිටපු ඔහුගේ මිතුරන් අහන්නේ මේ සාකච්ඡාව සහ මේ ඝාතනය අතර සම්බන්ධයක් තිබෙන්න පුළුවන්ද කියන දේ.

දිලීප රොෂාන් කුමාර දකුණු පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවරන නඩුකරයන් පවත්වාගෙන යෑම මෙහෙයවන කාර්යයට අමතරව ඔහු දිවයින පුරාම පවතින එවැනි නඩු කටයුතුවලට උපදෙස් ලබාදෙමින් අන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෑහෙන්න උදව් කළ පුද්ගලයෙක්. ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂක නීතිය වගේම ආහාර පනත පිළිබඳ ප්‍රාමාණිකයෙක්. ඒනිසාම රට පුරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා තියෙන පුහුණු වැඩමුළුවලට සම්පත් දායකයෙක් විදිහට සහභාගි වුණ කෙනෙක් තමයි රොෂාන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරන ආකාරයට මෙම ඝාතනය සිද්ධවෙන විටත් ඔහු නඩු දහයක් විතර මෙහෙයවමින් තමයි කටයුතු කරලා තියෙන්නේ.

මේ සියලු දේවල් සුපරික්ෂාකාරීව විමර්ශනය කළහොත් රොෂාන්ගේ ඝාතකයන් කවුරුන්ද කියන එක සොයාගන්නට අමාරු වෙන එකක් නෑ. පොලීසිය සැකකරන්නේ මේක කොන්ත්‍රාත් මිනී මැරුමක් විය හැකියි කියලා. ඒක ඇත්තනම් ඔහු ඝාතනය කරන්නට කොන්ත්‍රාත් එක දුන්නේ කවුද? එයට හේතුව කුමක්ද? සොයා ගැනීම අසීරු වෙන්නට නම් විදිහක් නෑ.

(කේ සංජීව / අනිද්දා)